දමරඣ | ඉසුරු උමයංග හිදැල්ලආරච්චි

දමරඣ | ඉසුරු උමයංග හිදැල්ලආරච්චි

4.7
(9)

දමරඣ කෘතිය පිළිබඳ පැවසීමේදී මා එයට වශීවූ ප්‍රථම කරුණ කිවයුතුමය. එය කෘතියේ කවරයයි.

“ශිලා මත ලියැවුණු ශිෂ්ටාචාරයක් පත් ඉරුවකට නොකියූ කතාව”

දමරඣ කෘතියේ නාමයට යටින් ලියවී තිබූ මේ වචන කිහිපය මේ කෘතිය කියවීමට මා දැඩි සේ පෙළඹීය. එම වචන පෙළට ස්තූතිවන්නට මා මිලදීගත් මෙම කෘතිය ඇත්තෙන්ම අපූර්ව වූ පුදුමාකාර මෙන්ම රසවත් කෘතියකි. එමෙන්ම එහි පිදුම තුළද ඇත්තේ මහා රසයකි. හදවතට කාවදිනා රසයකි.

මා කියවා ඇති දහසකට අධික පොත් අතරින් මා සිත්ගත් පිදුමක් හමුවූයේ කලාතුරකිනි. මා සිත්ගත් මුල්ම පිදුම මා දුටුවේ “අවුෂ්විට්ස් ඝාතකාගාර” නැමැති පරිවර්තන කෘතියෙනි. යළිත් මා “පියොනි” පරිවර්තන කෘතියේ පිදුමට ඇල්මක් දැක්වීය. ඉන්පසු මා සිත්ගත් පිදුම වූයේ “දමරඣ” කෘතියේ පිදුමයි.

පූජා
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරා,
ලෝ සත වැඩ පිණිස, උතුම් ආරිය සත්‍ය අවබෝධයෙන්ම දේශනා කොට වදාළ, සම්‍යක් සම්බුදුන් වහන්සේගේ අනන්ත වූත්, අප්‍රමාණවූත් දිවමන් බුදුන් තන්හි තබනා ඒ මාහැඟි ශ්‍රී සද්ධර්මයෙහි පා දුහුවිලි කොට පුදමි.
දමරඣ

ඉතින් එය සැබැවින්ම හදවතට බොහෝසෙයින් දැනෙනා පිදුමක් නොවේද?

නිදහසේ, විවේකී සුවයෙන් කියවිය යුතු කෘතියක් වූ “දමරඣ” ඉසුරු උමයංග හිදැල්ලආරච්චි සොයුරාගේ නිර්මාණයකි. “වැස්ස” කෘතිය තුළින් මා හඳුනාගත් ඔහුගේ ලිවීමේ හැකියාව කොතරම් දැයි පෙන්වන විශිෂ්ඨ වූ කෘතියක් ලෙස “දමරඣ” දැක්විය හැක. සැබැවින්ම මා මවිත කරවූ ඉතා අපූරු කෘතියක් වූ මෙය කියවාගෙන යෑමේදී මට සැබැවින්ම සිතුනේ “ඉසුරු නම් හැබෑම දක්ෂයෙකු” යන්නයි.

අතීතයත් වර්තමානයත් අතර පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට දෝලනය වෙමින් ගලායන මෙම කතාව සමාජ කොට්ඨාශය කිහිපයක් නියෝජනය කරයි. අප සැම දන්නා සාක්ෂි සහිතව සහ මහාවංසය වැනි කෘතීන් තුළින් කියාපාන අපගේ ඉතිහාසයට එහා ගිය ඉතිහාසය ගැන විශාල දැනුමක් පාඨකයන්ට ලබාදීමට මහා වෑයමක් ගන්නා කෘතියකි. අප ඉතිහාසය ලෙසින් පිළිගන්නේ ප්‍රසිද්ධ වූ සාක්ෂි සහිතව ලේඛණගත කළ දෑ වූවත්, ඉතිහාසය යනු සැබැවින්ම සිදු වූ දේය. එයට මහාවංසය වැනි පොතපතට එහා ගිය කරුණු සහිත වූ, සාක්ෂි සහිත වූ නමුත් ප්‍රසිද්ධ නොවූ මෙන්ම ප්‍රමාණවත් තරම් අවධානයක් නොලැබූ දේ ඇතුළත් නොවිය හැකිද?

ඉසුරු සොයුරා “දමරඣ” කෘතිය තුළින් අපට පවසන්නේ ඒ ඉතිහාස කතාවයි. පොත කියවාගෙන යෑමේදී පිළිගත හැකි සාක්ෂිත් සමඟව ප්‍රබන්ධයක් සමඟ ගලාගෙන යන මෙම කතාව මට සිහිගැන්වූයේ ඩෑන් බ්‍රවුන් නම් ලේඛකයාවයි. ඔහුගේ කෘතීන් තුළින් ප්‍රසිද්ධ මෙන්ම ප්‍රසිද්ධ නොවූ කලා කෘති පිළිබඳ වටිනා තොරතුරු ප්‍රබන්ධයක් සමඟින් පාඨකයන්ට ලබාදෙන ලෙසින්ම ඉසුරුද ප්‍රබන්ධයක් හරහා අප නෑසූ, නොදුටු ඉතිහාසය අප හමුවට ගෙන එයි.

කෘතියෙහි ඇතුළත් වූ කතාව පිළිබඳ කිසිවක් නොපවසමි. එය අනෙකුත් පාඨකයන්ට කෙරෙන අසාධාරණයකි. සති දෙකකට අධික කාලයක් මා විඳි ඒ රසවත්, අපූර්ව, පුදුමාකාර වූ හැඟීම අන් පාඨකයන්ද විඳිය යුතුමය. පොත නොකියවූ අයට කියවන්නට ආරාධනා කරමි. එය එතරම්ම පුදුමාකාර කෘතියකි. දමරඣ යන නාමය කුමක්ද යන්නත්, දමරඣ යනු කවුරුන්දැයි යන්නත් කෘතිය කියවන ඔබ අවසානයේ දැනගනු ඇත.

අවසාන වශයෙන් මෙසේ පවසමි. ඉසුරු උමයංග හිදැල්ලආරච්චි යනු මගේ සිතැඟි අනුව මට ලංකාවේ ඩෑන් බ්‍රවුන් ය. ඔහුගේ දැනුම පිළිබඳ මට පුදුමසහගතය. මෙම කෘතිය අපට ලබාදීම වෙනුවෙන් ඉසුරුට මෙන්ම ග්‍රන්ථ.lk ප්‍රකාශන ආයතනයටද ස්තූතිවන්ත වෙමි.

දමරඣ කෘතිය වෙනුවෙන් වෙනමම වෙබ් අඩවියක් ද නිර්මාණය කර ඇත. පහත වෙබ් ලිපිනය හරහා ඔබට එයට පිවිසිය හැක. https://damarajha.com/

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review