ක්‍රිස්ටි| ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද Christy | Catherine Marshall

ක්‍රිස්ටි| ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද Christy | Catherine Marshall

0
(0)

සුඛෝපභෝගී නාගරික ජීවිතයක් ගත කළ ක්‍රිස්ටි හඩ්ල්ස්ට්න් නැමැති දහනව හැවිරිදි යුවතිය, තම පවුලේ අය අසීරුවෙන් කැමති කරවාගෙන දුෂ්කර වූ කඳුකර පළාතක දරුවන්ට ඉගැන්වීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී යයි. නමුදු ඇය එහි යනතුරුම එම ප්‍රදේශයේ වූ දුෂ්කරබව ඇයට හරිහැටි නොදැනෙයි. දුෂ්කර බවින් මෙන්ම සුන්දර බවින් පිරි කටර් ගැප් ගම්මානය තුළට යන ඇය ජීවිතය දෙස සහ දෙවියන් වහන්සේ දෙස ඉතා වෙනස් ආකාරයකින් බැලීමට හුරු වෙයි. ඇය කටර් ගැප් පළාතේ සුන්දරබවින් වශී වෙයි. එම දහනව හැවිරිදි යුවතිය ඉදිරියේ ඇති කරදර බාධක සහ සිත දවා අළු කරවන වේදනාවන් ඉදිරියේ දෙවියන් වහන්සේගේ ආලෝකය සොයාගන්නට වෑයම් දරයි. අවසානයේ ඇය එය සොයාගනියි.

1914 වර්ෂයේ සැප්තැම්බර් 27 වෙනි දින ටෙනිසියේ ජොන්සන්හි, ගරු ජෝන් ඇම්බ්‍රෝස් වුඩ් දේවගැතිතුමාට සහ ලියොනාරා විතාකර්ට ඉපැදුණු සාරා කැතරින් වුඩ් තම මවගේ සත්‍ය ජීවිත අත්දැකීම් ආශ්‍රයෙන් ලියූ “ක්‍රිස්ටි” ලොව පුරා පාඨකයින් අතර අතිශය ජනප්‍රිය වූ කෘතියක් විය. එය ඇගේ කෘති අතරින් වඩාත් සම්භාව්‍ය කෘතිය ලෙසද සැලකේ.

සාරා කැතරින් වුඩ් තම උපාධිය නිම කිරීමෙන් පසු ගරු පීටර් මාෂල් දේවගැතිතුමා සමග විවාහ විය. ඉන්පසු ඔවුන් වොෂිංටන් හි පදිංචියට ගිය අතර ඒ විවාහයෙන් වසර පහකට පමණ පසුවය. 1949 වර්ෂයේදී පීටර් මාෂල් දේවගැතිවරයා හෘදයාබාධයකින් මොලොව සියල්ලන් හැරදා ගියේය. තම සැමියාගේ මරණයෙන් පසු සිය කුඩා පුතු සමග මේ ලෝකයේ තනිවූ සාරා කැතරින් වුඩ්, තම සැමියාගේ දේශනා ආශ්‍රයෙන් කෘතියක් සම්පාදනය කළ අතර එය, Mr. Jones, Meet The Master නම් විය.

යළිත් ඇය 1951 වර්ෂයේදී ඇය “A Man Called Peter” නමින් කෘතියක් රචනා කළ අතර ඒ ආශ්‍රයෙන් චිත්‍රපටියක්ද බිහිවිය. 1959 වර්ෂයේදී ඇය යළිත් ලියෝනාර්ඩ් ඊ. ලිසෝර්ඩ් නැමැති සඟරා සංස්කාරකවරයෙකු සමඟ විවාහ වූ අතර ඇය ඔහුගෙන් දරුවන් තිදෙනෙකු ලැබුවාය.

සෑමවිටම අරුත්බර සහ හැඟීම් වැඩියෙන් දනවන ලද කෘතීන් බිහිකළ සාරා කැතරින් 1983 වර්ෂයේ මාර්තු 18 වන දින ශ්වසන ආබාධයකින් මෙලොවින් සමුගත්තාය. නමුත් අදටද ඇය ක්‍රිස්ටි වැනි කෘතීන් තුළින් පාඨකයන් හට ජීවමානය!

කඳුකර වැසියන් ගත කරන දුෂ්කර, අන්ත දිළිඳු ජීවිතය දකින ක්‍රිස්ටි ඔවුන්ට උදව් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගනියි. ඔවුන්ට ඇය ආදරය කිරීමට පටන් ගනියි. ඔවුන් වෙනුවෙන් ඇය හැකි සෑම දෙයක්ම පාහේ දෙවරක් නොසිතාම කරයි. ඔවුන් වෙනුවෙන් ඇය දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරයි, ධෛර්යය සහ ශක්තියත්, තමා යා යුතු මාර්ගයත් පෙන්වන ලෙස ඉල්ලා සිටියි. එම දුෂ්කර පළාතේ අසීරුවෙන් ජීවත් වූ ඒ සුන්දර මිනිසුන් ඇය තමාගේ මිනිසුන් කරගනියි.

ක්‍රිස්ටි තම මුලු හදවතින්ම කඳුකරයේ ඒ සුන්දරත්වයට සහ ඒ මිනිසුන්ට ආදරය කළා පමණක් නොව, ඔවුන් නිසාම ඈ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද සොයාගත්තාය. අවසානයේ ඇය දෙවියන් වහන්සේගේ ආලෝකය දකිමින් යළිත් ඔවුන් අතරටම ආවාය. මනුෂ්‍යයත්වය, පරාර්ථකාමීබව සහ ප්‍රේමය පිළිබඳ ගැඹුරින් කියාදෙන “ක්‍රිස්ටි” කෘතිය ඉතා රසවත් මෙන්ම සංවේදී කාරණා බොහොමයක් ඇතුළත් කෘතියකි.

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය විසින් ප්‍රකාශයට පත් කරන ලද ක්‍රිස්ටි 1 සහ 2 කෘතීන් ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද මහත්මිය විසින් සිංහලට රසවත්ව සහ සාර්ථක අයුරින් පරිවර්තනය කොට ඇත.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review