Ramona | Beverly Cleary රමෝනා කතා මාලාව | ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Ramona | Beverly Cleary රමෝනා කතා මාලාව | ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

0
(0)

1916 අප්‍රේල් 12 වෙනිදා උපත ලද බෙවර්ලි ක්ලියරි තම මුල්ම කෘතිය ප්‍රකාශයට පත් වූ 1950 වර්ෂයේ සිට බොහෝ සේ ප්‍රචලිත විය. ලොව පුරා ඇගේ කෘතීන් අලෙවි වූ ගණන මිලියන 91ක් පමණ විය. කුඩා කල ඇය කියවීමටත්, ලිවීමටත් දස්කම් නොපෑ නමුත්, පෝට්ලන්ඩ් වල මහජන පුස්තකාලය නිසාවෙන් ඈ ඇගේ දක්ෂතා වර්ධනය කරගත්තාය. එවිට ඈ තුන් වැනි ශ්‍රේණියේ පසුවිය. ඇය උස් මහත් වූ විට පුස්තකාලාධිපතිනියක බවට පත් වූ අතර එහිදී ළමයෙකු ඇගෙන් ඇසූ “අපි වගේ ළමයින්ට තියෙන පොත් කොහේද?” යන පැනයක් නිසාවෙන් ඇයට පාසල් කාලයේදී සිය ගුරුතුමියක් කියූ කාරණාවක් ඇයට සිහිවිය. එනම් ඈ ළමයින් වෙනුවෙන් පොත් ලිවිය යුතුය යන කාරණාවයි. ඉන්පසු ඇය පොත් ලියන්නට පටන් ගත්තාය. ඇයගේ කෘතීන්ට ජාතික පුස්තක සම්මානය, ලෝරා ඉන්ගල්ස් සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමිවී ඇත. ඇය අතින් නිමවූ රමෝනා කතා මාලාව කුඩා දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද සිත් තුළ ආදරයෙන් මේ වනවිට රැඳී ඇත.

“රමෝනා” කතා මාලාව පොත් අටකින් සමන්විත වන අතර ඒවා පිළිවෙලින් පහත දක්වා ඇත.

  1. බීසස් සහ රමෝනා
  2. කරදරකාර රමෝනා
  3. එඩිතර රමෝනා
  4. රමෝනා සහ ඇගේ තාත්තා
  5. රමෝනා සහ ඇගේ අම්මා
  6. රමෝනා කුම්බි, වයස අවුරුදු 8යි.
  7. සදහටම රමෝනා
  8. රමෝනාගේ ලෝකය

රමෝනා කතා මාලාව ඇතුළත් පොත් අටෙහිම දකින්නට ඇති ආකර්ෂණීය කවර හැඩවන්නේ ඉතා ලස්සන සිතුවම් කිහිපයකිනි. මුල් පොත් වල ඇති කවරම සිංහලට පරිවර්තනය වූ පොත් වලටද යොදාගනිමින් ලිට්ල් හවුස් ප්‍රකාශකයින් “රමෝනා” සිංහලින් කියවන පාඨකයන්ට සාධාරණයක් ඉටුකොට ඇති බව මට සිතෙයි. මා ඉතා ආසා කරන කවර පෙළක් වන මෙම කවර වල ඇතුළත් සිතුවම් වලින් පෙන්නුම් කෙරෙන “රමෝනාට” සැමදා මා ප්‍රිය කළෙමි.

මේ “රමෝනා” කතා මාලාව මගේ හදවතට දැණුනු ආකාරයයි. කාලයක් පටන් වැඩිහිටියන් වෙනුවෙන්ම වෙන්වුනු පොත් කියවන වැඩිහිටි අපට කුඩා දරුවන්ගේ ලෝකයට යා හැකි පාලමක් ලෙස මෙම පොත් පෙළ හැඳින්විය හැක.

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය වුනු කතා පෙළක් වන “රමෝනා කතා මාලාව” කුඩා දරුවන්ට වඩා වැඩිහිටි අපට සුදුසු බව මට සිතෙයි. එයට හේතුව මේ පොත් පෙළ කියවීමේදී මට අමතකව තිබූ කුඩා කල මගේ ක්‍රියාකාරකම් සහ එකල මා සිතූ පැතූ අන්දම නැවතත් මට මතක් කර දුන් නිසාවෙනි. කුඩා දරුවන්ගේ සිතුවිලි කෙලෙසදැයි මට අමතකව යමින් තිබූ අවදියක මෙම පොත් පෙළ මා හමුවට පැමිණීමෙන් යළිත් එය මතක් කරදීමට සමත් වීමයි. ළමා කතාවකින් හෝ ජීවිතයට යමක් එකතු කරගැනීමට හැකිය යන්න මගේ විශ්වාසයයි. මේ ළමා කතා පෙළින් ජීවිතයට අමතකව ගොස් තිබූ දරුවන්ගේ සිතුම් පැතුම් යළි මගේ මතකයට නංවන්නට සමත් විය. කුඩා දරුවන් යනු කුඩා දරුවන්මය. දහසකුත් ප්‍රශ්න අසන, සුළු දෙයටත් කලබල වෙන, බොහෝ සෙයින් ආදරය බලාපොරොත්තු වන, අවධානය ලැබීමට කෑදර කුඩා දරුවන් සැමවිටම, සෑම තත්පරයකම වැඩිහිටියන් වන අපෙන් යමක් ඉගෙන ගන්නට උත්සාහ කරයි. අපට ඇවැසි තරමට ඔවුන් සංවර හෝ දක්ෂ නොවන්නට පුලුවන. නමුත් ඔවුන්, ඔවුන්ගේ හැකි උපරිමය ඉටු කරන වැඩිහිටියන්ගේ ප්‍රශංසා බලාපොරොත්තු වන, ආදරය, රැකවරණය සොයන, ඉක්මණින් ලොකු වන්නට කැමති කඩිසර, ඔවුන්ට ආවේණික අන්දමින් දක්ෂ දරුවන් ය. ඔවුන් යහමගට ගැනීමට සිරිත් විරිත්, දැනුම පමණක් නොසෑහේ. ඔවුන්ගේ සිතැඟි අවබෝධය, ආදරය ලබාදීම, කරුණාවන්ත වීම, ඔවුන්ට ප්‍රශංසා කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.

“රමෝනා” කතා මාලාව තුළ පොතින් පොතට සෙමෙන් සෙමෙන් ලොකු ළමයෙකු වන රමෝනා සහ බීසස් ඔවුන්ගේ හැසිරීම් සහ සිතුවිලි වලින් අපට කියාපාන්නේ දිනෙන් දින වැඩෙන ළමයින්ගේ මනස තුළ අතීතය, වර්තමානය මෙන්ම අනාගතය පිළිබඳවද අදහස් සැරිසරනා ආකාරයයි. මෙයට උදාහරණයක් ලෙස රමෝනාගේ යහලුවෙකු වන “හෝවි කෙම්ප්”ගේ නැගණිය වන කුඩා “විලා ජින්”ගේ හැසිරීම හමුවේ වැඩිහිටියන් සහ විටෙක බීසස් පවසන “රමෝනාත් ඉස්සර ඔය වගේමයි” යන වදන් රමෝනාව පුදුමයට සහ කුපිත කරවන ආකාරයයි.

රමෝනාට ඇගේ කුඩා කළ ඈ සැමටම කරදරකාර ළමයෙකු වූ බව මඟහරින බව සහ ඇගේ පැත්තෙන් බැලූ විට එය කෙදිනකවත් කරදරකාර ළමයෙකු නොවූ බව දැක්විය හැක. නමුත් ඇගේ උවමනාවන් සහ ආශාවන්, ඇගේ වැඩීමත් සමගම වෙනස් වී ඇත. කුඩා විලා ජින්ට උවමනා කිසිත් ඇයට උවමනා නොවන අතර, එකල බීසස් මෙන් ඇයටද කුඩා දරුවන් සමඟ සෙල්ලම් කිරීමට අවශ්‍ය නොවේ.

රමෝනා කතා මාලාව කියවන ඔබට දරුවෙකු සිටිනවා නම්, නැතහොත් අසල්වැසි ගෙදරක දරුවෙකු හෝ දඟයි යයි සිතා සිටිනවා නම්, එය කෙතරම් වැරදි අදහසක් දැයි සිතෙනු ඇත. “රමෝනා” කියවීමේදී ඇය දඟ වැඩ කරන දරුවෙකු යැයි ඔබට සිතෙනවා නම් ඇත්තෙන්ම ඔබ නිවැරදි නොවේ. ගැඹුරට කල්පනා කර බැලුවහොත් ඇය තාර්කිකව සිතන, දක්ෂ, ප්‍රීතිමත් දරුවෙක් බව වැටහෙනු ඇත. කුඩා දරුවන් වෙනුවෙන් ලියවුණු පොත් පෙළක් වූවද, ළමා කාලය අමතකව ගොස් ඇති සෑම වැඩිහිටියෙකුටම ළමයින් සමග ගනුදෙණු කිරීම පහසුවීම උදෙසා මම මේ පොත් පෙළ වැඩිහිටියන්ට නිර්දේශ කරමි. රමෝනා යනු තාර්කික බුද්ධියකින් හෙබි, සාධාරණ වීම සියලු දෙයින්ම බලාපොරොත්තු වන, ආදරණීය, බුද්ධිමත්, සංවේදී දැරියකි.

රමෝනා කියවූ අයෙකුට කිසිවිටෙකත් රමෝනාට ආදරය නොකර සිටීමට බැරිය. ඇය එතරම්ම පුදුමාකාරය. ආදරණීයය. තාර්කිකය. රමෝනා කතා පෙළෙහි සිටින රමෝනා හරහා ඔබ අවට සිටින රමෝනලා හෝ ඔබ ගෙතුළ සිටින රමෝනලා තේරුම් ගැනීමට වැඩිහිටියන් ලෙස ඔබ උත්සාහ ගත යුතුය. කුඩා දරුවන් සමග ගණුදෙනු කිරීමේදී කුඩා දරුවන්ගේ මනස, සිතුම් පැතුම් වටහාගත යුතුය. මේ කතා මාලාව එයට දමනා අඩිතාලමක් වැනිය.

ප්‍රවීණ පරිවර්තිකාවක් වන ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද මහත්මිය විසින් සිංහලට පරිව‍ර්තනය කොට “රමෝනා” අපට සුපුරුදු මව් භාෂාවෙන් අප වෙත ගෙන ඒම වෙනුවෙන් ඇයට ස්තූතිවන්ත වන අතර ලිට්ල් හවුස් ප්‍රකාශන වෙතින් මෙම‍ රසවත් කෘති පෙළ ගුණාත්මක සහ ආකර්ෂණීයබවින් යුතුව පාඨකයන් අතට පත්කොට ඇති බව කිව යුතුම වේ.

රමෝනා කතාමාලාව Grantha.lk වෙබ් අඩවිය හරහා විශේෂ වට්ටම් සහිතව මිලදී ගැනීමට මෙතැනින් පිවිසෙන්න.
https://grantha.lk/book-collections/ramona-collection.html

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review