සැඟවුණු සංකේතය |ඩෑන් බ්‍රවුන් – The Lost Symbol | Dan Brown

සැඟවුණු සංකේතය |ඩෑන් බ්‍රවුන් – The Lost Symbol | Dan Brown

5
(2)

“The DaVinci Code – ඩාවින්චි කේතය”, “Origin – සම්භවය” සහ “Inferno – නිරය” යන අනෙකුත් කෘති මෙන්ම “The Lost Symbol – සැඟවුණු සංකේතය” කෘතියද සැබෑ ලෝකයේ පවතින කලා කෘති පිළිබඳ සත්‍ය තොරතුරු පිළිබඳ දැනුමින් පාඨකයන් පොහොසත් කරමින් ප්‍රබන්ධ කතාවක රසය ගෙන එයි. ඩෑන් බ්‍රවුන්ගේ අනෙකුත් කෘති වල මෙන්ම මෙහිද ප්‍රධාන චරිතය “රොබට් ලැන්ග්ඩන්” වන අතර ඔහු සංකේත පිළිබඳ මහාචාර්යවරයෙකි. ඇමෙරිකාවේ ඇති කලා කෘති කිහිපයක් පිළිබඳ වටිනා තොරතුරු රැසක් පාඨකයාට අනාවරණය කරමින් ගලාගෙන යන මෙම අබිරහස් කතාව විටෙක භයානක ස්වරූපයක් ගනියි.

ඇමෙරිකාවේ පිහිටි කැපිටල් ගොඩනැගිල්ල, ජාතික ප්‍රතිමාමය ශාලාව, වොෂිංටන් ස්මාරකය, ජෝර්ජ් වොෂිංටන් මුල්ගල තැබීමේ සිතුවම, රෝමයේ පිහිටි වෙස්ටා දෙවොල, වොෂිංටන්ගේ දේවත්වාරෝපණය සිතුවම, ජෝර්ජ් වොෂිංටන් සීයස් පිළිරුව, අල්බ්‍රෙෂ් ඩියුරර්ගේ මෙලෙන්කෝලියා අයි සිතුවම, මේසනික ජෝර්ජ් වොෂිංටන් ස්මාරකය, වොෂිංටන් ජාතික කැතිඩ්‍රලය, අල්මාස් සිද්ධස්ථානය සහ ක්‍රිප්ටෝස් මූර්තිය වැනි වටිනා නිර්මාණ කිහිපයකම නොදත් තොරතුරු රාශියකින් සමන්විතව නිමවා ඇති මෙම කෘතිය පාඨකයන් දිගු ඉතිහාසයක ආපස්සට ගෙනයන්නට සමත්‍ ය.

එකදිගට කියවාගෙන යා හැකිවන අයුරින් පාඨකයාගේ කුතුහලය නොනවත්වාම පවත්වා ගනිමින් ගලා යන කතාන්දරයකි. අවසානය කිසිසේත්ම නොසිතූ ආකාරයකට එළඹෙන අතර පොත කියවීමෙන් පසුවද සිතා බැලීමට කරුණු බොහොමයක් වෙයි.

බයිබලය ප්‍රධාන ආගමික කෘතිය කරගත් කිතුණු ධර්මයේ මිනිසාගේ නිර්මාපකයා දෙවියන් වහන්සේ වන බව කියැවේ. නමුත් හුරුපුරුදු සාමාන්‍ය කියවීමකට එහා මානයකට ගොස් සිතන්නට අපට පොළඹවන කරුණු රාශියක් ගොනු කොට අවසානයේ මිනිස් සිතෙහි වූ හාස්කම් ද කතුවරයා පාඨකයාට මනාව පැහැදිලි කර දෙයි.

මෙම කෘතියේ පරිවර්තක වන කුමාර සිරිවර්ධන මහතා පොතෙහි මුල් පිටුව අත්සන් යොදා ඇත්තේ “ඔබම සොයන්න” යනුවෙනි. මා පොත කියවීමට අතට ගත් මුල් නිමේෂයේ පටන්ම එම සරල වාක්‍යයේ අරුත බොහෝ ගැඹුරින් සිතූ නමුත් පොතෙහි අවසානය තෙක්ම එම සරල වචනයක් දෙකකින් සැදුම්ලත් ඒ එකම වාක්‍යයේ අරුත මා හට වැටහුනේ නැත. කතාව අවසානයේ රොබට් ලැන්ග්ඩන්ද කෙමෙන් කෙමෙන් කරුණු පෙළ ගස්වා වටහා ගන්නා අයුරින්ම මමද “ඔබම සොයන්න” යන සරල වාක්‍යයෙහි, සරල අරුත වටහා ගත්තෙමි.

ආශිර්වාද ප්‍රකාශකයන් විසින් ප්‍රකාශනයට පත් කළ, ඉතා රසවත් මෙන්ම හරවත් කෘතියක් වන මෙය කියවන පාඨකයන්ට, කෘතිය කියවා නිම කළ පාඨකයෙකු ලෙස “ඔබද කෘතිය කියවා ඔබම සොයාගන්න” යන්න පැවසීම උචිතය!

අවසාන වශයෙන් මෙම කෘතියේ සඳහන්ව ඇති ලොව ප්‍රකට කියමනක් පහතින් උපුටා දක්වමි. එය කෘතියේ අන්තර්ගතයට බෙහෙවින් ගැලපෙන බව මගේ අදහසයි.

“අප, අප වෙනුවෙන් කරගන්නා සියල්ල අප සමඟම මියයයි. අප අනෙක් අය වෙනුවෙන් කරන සියල්ල සහ ලෝකය ඉතිරි වන අතර ඒවා අමරණීය වෙයි.”

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review