ඇසිපිය ගසා ලියූ කතාව

ඇසිපිය ගසා ලියූ කතාව

4.4
(7)

බිඳුණු සමනල හදවත | රුවිනි තල්පාවිල The Diving Bell and The Butterfly | Jean Dominique Bauby

මස්තිෂ්ක ආඝාතයට ගොදුරු වූ ජොන් දොමිනික් බොබි ELLE සඟරාවේ ප්‍රධාන කතෘතුමාය. ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන අතර ඔහු සම්පූර්ණයෙන්ම අංශභාගී තත්වයට පත්වේ. ඔහුගේ වම් ඇසිපිය පමණක් ක්‍රියාත්මකය. එම ක්‍රියාත්මක වූ වම් ඇසිපිය හරහා ඔහු රචනා කළ මෙම ග්‍රන්ථය විශිෂ්ඨ වන්නේ ධෛර්‍යමත් වූ මිනිසෙකුගේ ප්‍රතිඵලයක් නිසාවෙනි.

පුවත්පත් දිවියේ ඉහළම ස්ථානයක වැජඹුණු ජොන් දොමිනික් බොබි තමාගේ ශරීරයේ වම් ඇස පමණක් ඉතිරිව අනෙක් සියල්ල අඩපණව ගිය විට ඔහු ගෙවූ කාලය පිළිබඳත්, ඔහුගේ සිතුවිලි පිළිබඳවත් මෙම කෘතියෙන් කියාපෑවේය. ඔහුගේ ශරීරය ක්‍රියාත්මක නොවූ ඒ කාලය තුළ ඔහු දුටු සිහිනයන්, තමාගේ අතීත මතකයන් මෙන්ම ඔහු වටා සිටි පිරිස ගැනත්, ඔහු එම කාලය ගතකළ අයුරුත්, ඔහුට දරාගැනීමට සිදුවූ දේ සහ ඒවා දරාගත් අයුරුත් මෙහි සඳහන් කළේය.

වම් ඇස පමණක් ක්‍රියාත්මක වූ මිනිසෙකු කෘතියක් රචනා කරන්නේ කෙසේද යන්න ගැටලුවකි. ජොන් දොමිනික් බොබි මෙම කෘතිය රචනා කළේ දෙලක්ෂ වාරයක් පමණ තමන්ගේ වම් ඇසිපිය සැලීමෙනි. එය මෙසේ සිදුවිය. එක් වරක් ඇසිපිය සැලීමෙන් “ඔව්” සහ දෙවරක් ඇසිපිය සැලීමෙන් “නැත” යන අර්ථය ලබාදුන් ජොන් දොමිනික් බොබි ඉංග්‍රීසි හෝඩියේ අකුරු වලට අංකයක් ලබා දුනි. වැඩි වශයෙන් භාවිතා වන අකුරු සංඛ්‍යා ගතකොට එම සංඛ්‍යා ඔස්සේ ඇසිපිය ගැසීම සිදු කළේය.

මෙම ක්‍රමය ඔස්සේ තම හෙදි සහායිකාව සහ එක්ව ඔහු දිනකට පැය හතරක පමණ කාලයක් මෙම කෘතිය රචනා කිරීමට කාලය වැය කළ අතර ඇයද ඔහුගේ ඇසිපිය ගසනා වාරයන් ඔස්සේ යමින් ඒවා සටහන් පොතක සටහන් තබාගෙන වදන් වැල් ඇමිණීය. එක් වචනයකට විනාඩි හතරක පමණ කාලයක් වැයවූ බව කියවේ. මෙම කුඩා පොත් පිංච නිම කිරීමට ඔවුන්ට වසර හතරක කාලයක් ගතවී ඇත. දෙලක්ෂවාරයක් පමණ ඇසපිය ගැසීමෙන් මේ පොත නිර්මාණය කිරීම යන කරුණ ඔහුගේ නොසැලෙන ධෛර්යය ගැන කියාපෑමට මනා වූ සාක්ෂියක් නොවේද?

පොත කියවාගෙන යන අප සංවේදී වන අවස්ථා බොහොමයකි. ජොන් දොමිනික් බොබි තම දරුවන් තමන් බැහැ දැකීමට එන මොහොතේ ඔවුන් හා කතාබහ කිරීමට, සිපවැළඳ ගැනීමට නොහැකිව අසරණ වන අවස්ථා සහ ඔහුට ඒවා හැඟෙන අයුරුත්, ඔහු ඒවා දරාගන්නා අයුරුත් මෙයින් කියවේ. එක් ඇසක ඇසිපිය පමණක් හැර අනෙක් මුලු ගතම අක්‍රීය වූ අයෙක් විඳිනා දුක්ගැහට, මුලු ගතම සක්‍රීයව ඇති අපට සිහිනෙන් වත් සිතාගැනීමට හැකිද?

තම නාසයේ වසනා මැස්සෙකු පලවා හැරීමට නොහැකිව අසරණ වන ඔහුට දැනෙන්නේ ඔලිම්පික් මල්ලවපොර ක්‍රීඩාවත් මෙයට වඩා සුළු දෙයක් ලෙසටයි. ගෙවීයන දින ගැනීමට පවා උත්සුක නොවන ඔහු පවසන්නේ රෝහල තුළ කාලය ගෙවී නොයන බවත් රෝහලෙන් පිටත ලෝකය තුළ කාලය සාමාන්‍ය පරිදි ගතවන බවත් ය.

සතියේ දින හයක් පුරාවට ඔහු හමුවට එන හෙදියන්, නානාප්‍රකාර වෛද්‍යවරුන් යන සියල්ලන්ටම ඔහු සිත අභ්‍යන්තරයෙන් කැමති වේ. ඒ ඔහුගේ අක්‍රීය වූ, පාලු වී ගිය, කාලය නොගෙවෙන ලෝකය බිඳුවක් හෝ ප්‍රබෝධමත් කිරීමට ඔවුන්ට හැකි බැවිනි. නමුත් ඉරිදා දිනය ඔහුට කිසිවිටෙකත් ප්‍රිය නොවෙයි. එදිනට ඔහු හමුවට කිසිවෙකුත් නොඑයි. ඔහු එදිනට සදාකාලික තනිකමකින් සහ අසරණකමකින් ගිලී යයි.

වරින් වර තමන්ගේ ශරීරය අක්‍රීය වීමට පෙර ඔහු ගතකළ ඒ සැපවත් සහ සක්‍රීය වූ ජීවිතයේ මතක තුළට යන ඔහු ඒවා තුළ කිමිදෙමින් කාලය ගෙවා දමයි. ශරීරයම තමා සතුව තිබුණද, තමා කැමති රූපවාහිනී නාලිකාවක් හෝ මාරු කරගැනීමට නොහැකි ඔහු අසරණ වන වාර ගණන බොහෝමය.

ඔබ කෙදිනක හෝ ඔබට අතපය සෙලවීමට හැකිවීම ගැන සතුටු වී තිබේද? නැතහොත් ඔබට ඇවිදීමට හැකිවීම ගැන සතුටු වී තිබේද? එසේත් නොමැති නම් ඔබට සිතෙන හෝ ඔබට අවැසි යමක් කාට හෝ පැවසීමට හැකිවීම ගැන ඔබ සතුටු වී තිබේද? ඔබ කැමති රූපවාහිනී නාලිකාවක් දුරස්ථ පාලකය මඟින් මාරු කිරීමට හැකිවීම හෝ ඔබේ ඇඟිලි තුඩු වලින් යමක් අල්ලා ගැනීමට හැකිවීම පිළිබඳ සතුටු වී තිබේද? තෘප්තිමත් වී තිබේද? ඔබ මේ කෘතිය කියවූ පසු ඔබට ඇති ඒ අනර්ඝ හැකියාව පිළිබඳ සතුටුවනු හා තෘප්තිමත් වනු නොඅනුමානය.

ශරීරය තුළට බටයකින් ඇතුල් කරන යම් දියරයක් විනා වෙනත් ආහාර නොලැබෙන ජොන් දොමිනික් බොබි, ආහාර වල සුවඳට පවා ඇල්මක් දක්වයි. ඔහු මනසින් ආහාර වල රස බලයි. නමුත් ඔහුට ඔහුගේ අක්‍රීය වූ සිරුර හේතුවෙන් ආහාර ගැනීමට නොහැකිය. ඔහු කෘතියේ එක්තැනක දක්වා ඇත්තේ ඔහුට දිවා ආහාරය යනු අමතකව ගිය පෞරාණික චාරිත්‍රයක් බවයි.

මා පෙර පැවසූ ලෙසටම මෙම කෘතිය සංවේදීය. ජොන් දොමිනික් බොබිට නොලැබී ගිය සහ තවමත් ඔබට ලැබෙමින් තිබෙන දෑ බොහෝය. ඔහුගේ අකුරු තුළ වූ වේදනාව, අසරණබව සහ ධෛර්යය වටහාගත හැක්කේ මේ කෘතියේ පේළි අතර පේළි කියවූ විටය. එය කියවූ පසු ඔබ ජීවිතය දෙස වෙනස් කෝණයකින් බලනු නොඅනුමානය.

අවසානයේදී මා මෙය පැවසිය යුතුම වේ…
ජොන් දොමිනික් බොබි හැර මුලු ශරීරයම අඩපණව ගිය, එක් ඇසක ඇසිපිය පමණක් ක්‍රියාත්මක වී තිබෙන අවස්ථාවක පොතක් ලිවීමට සිතූ සහ එය එලෙස ක්‍රියාවට නැංවූ අයෙක් මා තවත් හඳුනන්නේ නැත. ඔහුගේ ඒ නොසැලෙන ධෛර්යය මා හට ගෙන ආ මේ කෘතිය ජීවිතය දෙස වෙනස් කෝණයකින් බලන්නට මට බලකෙරිණි.

රුවිනි තල්පාවිල විසින් පරිවර්තනය කොට ඇති මෙම කෘතිය විදර්ශන ප්‍රකාශනයකි.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review