තව ඩොලර් කිහිපයක් සඳහා | ඩීමන් ආනන්ද

තව ඩොලර් කිහිපයක් සඳහා | ඩීමන් ආනන්ද

5
(2)

1933 වසරේ මාර්තු මස 30 වන දින මාතර, බණ්ඩාරවත්තේදී උපත ලද බෝපෙ කනත්තගේ ඩීමන් ආනන්ද සහෝදර සහෝදරියන් සය දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමල් දරුවාය. ඔහුගේ පියා ගොවිතැන සිය රැකියාව කරගත් බී. කේ. මාටින් වන අතර මව ලැයිසිනා එදිරිරත්න නම් වේ.

වටගෙදර බෞද්ධ මිශ්‍ර පාසල හා කොළොන්නාව ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඩීමන් ආනන්ද තම වෘත්තිය ලෙස තෝරාගත්තේ ලේඛණ කලාවයි. නවකතා 1000කට අධික සංඛ්‍යාවක් රචනා කළ ඔහු තිර රචනයෙන්ද දායක වූ අවස්ථා ඇත. ඩීමන් ආනන්ද සිංහල මෙන්ම ඉංග්‍රීසි, දෙමළ, හින්දි යන භාෂා සඳහාද ප්‍රවීණයෙකු වූ බව පැවසේ. ඔහු රචනා කොට ඇති 1000කට අධික සංඛ්‍යාවක් නවකතා තුළින් කිහිපයක් පහත දැක්වේ.

✒️ ජීවන මේලා
✒️ පිස්තෝලයේ දෝංකාරය
✒️ උණ්ඩයට උණ්ඩයක්
✒️ ලේ බැම්ම
✒️ ලක්ෂ හත
✒️ දේශ ප්‍රේමියා
✒️ වැසිදා රාත්‍රිය
✒️ උමතු මිනීමරුවා
✒️ බෝදිලිමා
✒️ බැංකු හොරා
✒️ බ්‍රිගේඩියර් M
✒️ රාජ ද්‍රෝහියා
✒️ ඩ්‍රැකියුලා සිටුවරයා
✒️ අනංග බිල්ල
✒️ වවුල් භීෂණය
✒️ රතු මකරා
✒️ මරුවා සමග සූදුවක්
✒️ උගුලට උගුල
✒️ පෝරකය හිනැහෙයි

1000කට අධික සංඛ්‍යාවක් නවකතා රචනා කල, තිර රචනයටද දායකත්වය ලබා දුන් ඩීමන් ආනන්ද 2007 වසරේ අප්‍රේල් 15 වන දින තම ජීවිතයේ අවසන් හුස්ම පොද වාතලයට මුසු කරමින් මෙලොවින් සමුගත් නමුදු ඔහු රචනා කළ දෑට ආදරය කරන පිරිස අතර ඔහු සදා අමරණීයය.

මුදලට නීති විරෝධීන් මරා දමනා මිනිසුන් දෙදෙනෙක් හා අපරාධකරුවන් පිරිසක් අතර ගෙතුණු මෙම කතාව ඩීමන් ආනන්දයන්ගේ තවත් එක් රසය පිරුණු කතාවකි.

අඩි 6ක් හෝ ඊට වැඩි උසක් ඇති, සිහින්, දීප්තිමත් දෙනෙත් සහ දැලි රැවුල වැඩුණු දෙකොපුල් සහිත ප්‍රසන්න, මෙක්සිකානු ක්‍රමයට උඩුකය පොන්වෝවකින් වසාගත්, ටෙක්සාසයේ ගොපල්ලන් පළඳිනවා මෙන් පුළුල් හිස්වැස්මකින්ද සැරසුණු ඔහුගේ බඳපටියේ රැඳී තිබුනේ 44 පිස්තෝලයකි. ඔහුට වයස 30ක් පමණ වන බව පෙනිණි. තමාගේ සිහිනය සැබෑ කරගැනීමට මුදල් සොයාගැනීම පිණිස නීතිවිරෝධී මිනිසුන් මරා දැමීමේ යෙදෙන මොහු “නමක් නැති මිනිසා” ලෙස හඳුන්වා ඇත. ඔහුගේ වෙඩි තැබීමේ ක්‍රියාවලිය සිතාගැනීමටවත් නොහැකි තරමට වේගවත් ය, ඉස්තරම් ය. ඔහු වෙඩි තැබීමේ ශූරයෙකි.

අව්වට වියලුණාක් බඳු රළු, කෙට්ටු මුහුණක් සහිත තරුණ නොවුණු මොහු සුප්‍රකට කර්නල් ඩග්ලස් මෝටිමර් නම් වේ. වෙඩි තැබීමේ ක්‍රියාවලියේ දක්ෂයෙකු වූ මොහු යුධ හමුදාවේ සේවයේ නියුතුව සිටි හොඳම වෙඩික්කාරයා විය. මොහුද මුදලට නීතිවිරෝධී මිනිසුන් මරාදැමීම සිදු කරනා පුද්ගලයෙකි.

පළිගැනීමේ චේතනාවෙන් දැවෙන එක් නීති විරෝධී මිනිසුන් මරාදමනා කර්නල් ඩග්ලස් මෝටිමර් ආපරාධකරුවෙකු මරා දමා තමාට සාධාරණය ලබා ගන්නට උත්සාහ කරන අතර අනෙකා තමාගේ සිහිනයක් සැබෑ කරගැනීමට මුදලට නීතිවිරෝධී මිනිසුන් මැරීමේ යෙදෙයි. දෙදෙනාම ඉතා දක්ෂ වෙඩික්කාරයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගේම අරමුණ එක් අපරාධකරුවෙකු වටා ගෙතුණු විට කුමක් වේවිද? එය දැනගැනීමට නම් මෙම රසය පිරුණු කෘතිය කියවිය යුතුම වේ.

1962 වසරේ ප්‍රථමයෙන් මුද්‍රණය වූ මෙම කෘතිය යළිත් දෙවන මුද්‍රණයකින් 1996 වසරේදී පාඨකයන් අතරට එන අතර ඉන්පසු වසර ගණනාවකට පසු 2020 වසරේදී ග්‍රන්ථ.lk ප්‍රකාශනයක් ලෙස පාඨකයන් අතරට පත්වේ. මීට පෙර වසරේදීද ග්‍රන්ථ.lk ප්‍රකාශකයින් විසින් “ජේම්ස් බණ්ඩා 019”, “ඩ්‍රැකියුලාගේ මනාලියෝ” සහ “බදුල්ල එක්ස්ප්‍රස්” යන ඩීමන් ආනන්දයන්ගේ කෘති ත්‍රිත්වය පුනර් මුද්‍රණය කෙරිණි.

ත්‍රාසය සහ කුතුහලය මැනවින් පිරුණු ඩීමන් ආනන්දයන්ගේ පොත් අතරින් “තව ඩොලර් කිහිපයක් සඳහා” පොතද විශිෂ්ඨ ස්ථානයක් ගන්නා බව මගේ අදහසයි.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review