ත්‍රිත්ව | මුතුමුදලිගේ නිශ්ශංක

ත්‍රිත්ව | මුතුමුදලිගේ නිශ්ශංක

3.5
(6)

ආදරය යනු ආදරයමය. ආදරයට කිසිදු භේදයක් නැත. ආගමට කිසිදු ජාතියක්, භාෂාවක් නැත. විරුද්ධ ලිංගිකයන් සේම සමලිංගිකයන්ද කරන්නේ ආදරයමය. ආදරය ගැඹුරුය. නිශ්චලය. එය කිසිවෙකුට හෝ පෙනෙන්නේ නැත. දැනෙනවා පමණි. ආදරයට දෘශ්‍යමාන විය නොහැකිය. නමුත් ආදරයද දෘශ්‍යමාන වේ. එය ක්‍රියාවන් වලිනි.

“ත්‍රිත්ව” එවැනි කතාවකි. සමලිංගිකයන් දෙදෙනෙකුගේ ක්‍රියාවෙන් දෘශ්‍යමාන වූ ආදරය පිළිබඳ කතාවකි. සමලිංගික ආදරයක් පිළිබඳ කතාවක් වූවත්, පොත කියවාගෙන යාමේදී එය සමලිංගිකයන් දෙදෙනෙකුගේ කතාවක් ලෙසට දැනෙන්නේම නැති තරම්… එය ලේඛකයාගේ දක්ෂතාවයද නැතහොත් ආදරය යනු ආදරයමය යන අරුත්බව නිසාද නොදනී. කෙසේවෙතත් මෙය රසවත් ආදරණීය කෘතියකි.

යශෝධා, ෆෙයිත් සහ මාචෙලෝ නම් චරිත ත්‍රිත්වය අතර පාඨකයන් එහෙ මෙහෙ ගෙනයන මේ කෘතිය වඩාත් ආදරණීයය. ඒ යශෝධා සහ ෆෙයිත් හේතුවෙනි. යශෝධා ශ්‍රී ලාංකික යුවතියක් වන අතර ෆෙයිත් ඇමෙරිකානු යුවතියකි. ඔවුන් දෙදෙනා විශාල හෝටලයක අධ්‍යක්ෂකවරයාගේ ලේකම්වරියන් දෙදෙනායි. ඔවුන් දෙදෙනා අතර ඇතිවන ආදරය ඉතා සුන්දර, අහිංසක ආදරයකි. මොවුන් දෙදෙනාගේ සමලිංගික ප්‍රේමය පිළිබඳ දැනගන්නා පුද්ගලයා මාචෙලෝ ය. ඔහු මොවුන් දෙදෙනා සේවය කළ හෝටලයේ අලුත පත් වී ආ හෝටල් අධ්‍යක්ෂකවරයායි.

මෙම චරිත ත්‍රිත්වය එකිනෙකට බෙහෙවින් වෙනස් ය. හැසිරීම, ගතිගුණ, එකිනෙකාගේ පෞද්ගලික කැමැත්ත යනාදී සියලුම දෑ සම්පූර්ණයෙන්ම වෙනස් ය. සම්පූර්ණයෙන්ම වෙනස් චරිත වූවද, “ත්‍රිත්ව” පොතට ත්‍රිත්ව යන නම යෙදීමට උපකාරී වූ චරිත ත්‍රිත්වය මෙයයි. චරිත කෙතරම් වෙනස් වූවද, ආදරය යනු ආදරයමය. එය අපට පැහැදිලි කරදෙන්නේ යශෝධා සහ ෆෙයිත් ය.

සමලිංගික මිනිසුන්ට ආදරය කළ නොහැකිද? ආදරය ඇත්තේ විරුද්ධ ලිංගිකයින් තුළ පමණද? ආදරයට භේද නොමැත යන යෙදුමට අයත් වන්නේ දුප්පත් – පොහොසත්, ආගම්, කුල භේද, ජාති භේද පමණද? නැත… ආදරයට කිසිදු භේදයක් අදාළ නොවේ. ලිංගභේදය පවා ආදරයට සීමාවක් දැමීමට සමත් වී නැත. ඉතින්.. ආදරය යනු මොනතරම් සුන්දර, නිදහස්, නිවහල් හැඟීමක්ද?

මට නම් ආදරය යනු නිදහසේ ගලනා ගඟක් මය… කුමන බාධකයක් පැමිණියද, ගඟ ගලායාම නොනවතාලයි. සැබෑ ආදරයද එසේමය. එය කිසිදු හේතුවක් නිසා නොනවතියි. එසේ නවතියි නම්, නවතින්නේ ආදරය නොව, එම ආදරය වෙනුවෙන් ආදරය හිමි තැනැත්තා හෝ ආදරය පිදූ තැනැත්තාගේ ක්‍රියාවන් පමණි. සැබෑ ආදරය හදවත මරණයට පත්වන තෙක් නිසොල්මනේ, නිශ්චලව ගැඹුරෙහි සැඟව ගලා යයි!

සමලිංගික ආදරයක් පිළිබඳ කතාවක් පාඨකයන් අතරට ගෙන ආ “ත්‍රිත්ව” පොත රචනා කළේ මුතුමුදලිගේ නිශ්ශංක මහතාය. ග්‍රන්ථ.lk ප්‍රකාශනයක් ලෙසින් පාඨකයන්ට අතරට පත්වන මෙම පොත සැබැවින්ම ආදරණීයය.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review