මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් ගන්න පොත් දහයක්…!

මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් ගන්න පොත් දහයක්…!

3.7
(35)

ළඟ ළඟම එන පොත් ප්‍රදර්ශනයෙන් ගන්න පොත් ලිස්ට් හද හදා කට්ටියම කාර්‍යබහුල වෙන කාලයක ඔන්න පුංචි උදව්වක් වෙන්න හිතුවා. අවුරුද්දකට එක් වරක් BMICH එකේ පවත්වන මේ මහා පොත් ප්‍රදර්ශනයට රට වටින්ම පොතට ආදරය කරන ලොකු පිරිසක් එනවා.

සමහරු මිලදී ගත යුතු පොත් ලිස්ට් එක හදාගෙනම එනවා. ඒක ඇත්තටම සෙනග අස්සේ තෙරපීගෙන පොත් මිලදී ගැනීම ලේසි පහසු කරවන එක් ක්‍රමයක්! තමන්ට ඕන පොත් මොනවාද කියලා ලිස්ට් එකක් එක්කම ලියාගෙන යනකොට සෙනග අස්සේ තෙරපී තෙරපී, තල්ලු වෙවී පොත් තෝරන්න ඕන නෑ. ඇත්තටම පොත් තෝරනවා කියන්නෙත් ලේසි පහසු වැඩක් නෙවෙයි. පොතක පසුපස කවරය කියවලා, අතරමග පෙරලගත්තු පිටුවක් දෙකක් කියවලා, පොතේ හැඳින්වීම එහෙම කියවලා පොතක් ගන්න එක පොත් ප්‍රදර්ශනයේදී කට්ටියට කරන්න අමාරු වැඩක්…!!!

ඉතින් එහෙනම් අපි ලිස්ට් එකක් හදාගෙනම යන එක කියන්න බැරි තරම් පහසුවක් නෙවෙයිද…? කාලයත් ඉතුරුයි, පොරකාගෙන පොත් බලන්න යන මහන්සියත් අඩුයි. ඔයාලා ගන්න ඉන්න ලිස්ට් එකට එකතු කරගන්න මෑතකදී නිකුත් වුණු, රසවත්, හරවත්, කියවිය යුතුම කියලා මට හිතෙන පොත් දහයක් මං නම් කරන්නම්. පොත ගැන කෙටි විස්තරයක් එක්ක මං පහතින් ඒ පොත් 10 හඳුන්වලා දෙන්නම්.

1. බක්
ජැක් ලන්ඩන් යන අන්වර්ථ නාමයෙන් කෘතීන් රචනා කල ජෝන් ග්‍රිෆිත් ලන්ඩන් ඔහුගේ ජීවිතයේ රත්තරන් සොයා ගිය මතකයන් ඔස්සේ සුනඛයෙකු ප්‍රධාන කොට රචනා කල “The Call of The Wild” කෘතියේ සිංහල පරිවර්තනය “බක්” නම් වේ. මෙය සිංහලයට පරිවර්තනය කළේ චාරුණ්‍යා දෙහිගම මහත්මියයි.

එදා මිනිසුන් රත්තරන් සොයා ගිය ඒ අසීරු දුෂ්කර ගමනේ මහා අසීරු කොටසක් ඉටුකල සුනඛයන්ගේ ජීවිත කතාව මෙයින් කියවෙන අතර විවේකයකින් තොරව, පහසුකම් වලින් තොරව මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දුක් ඉහිලූ ඒ සුනඛයින්ගේ ජීවිත මහා වේදනාවකි. රසවත් මෙන්ම ඉතා සංවේදී කතාවක් වන මෙය සැවොම කියවිය යුතු පොතක් බව මගේ අදහසයි. ග්‍රන්ථ.lk ප්‍රකාශකයින් විසින් පළකල මෙහි මිල රු.450/- වේ.

2. රමෝනා කතා මාලාව
රමෝනා නම් වූ කුඩා දැරියක ප්‍රධාන චරිතය කොට ගෙන පොත් අටකින් සමන්විත මෙම කතා මාලාවේ නිර්මාතෘ බෙවර්ලි ක්ලියරි මහත්මියයි. කුඩා දරුවන්ට උචිත පොත් පෙළක් ලෙස මෙය හැඳින්වූවද, වැඩිහිටියන්ටද මෙය උචිත බව මගේ අදහසයි. අප දරුවෙකුව සිටි කාලයේ කල ක්‍රියාකාරකම් සහ ඒවාට හේතු වූ කරුණු මතකයේ රැඳී ඇත්තේ කෙතරම් ප්‍රමාණයක්ද?

දරුවෙකු තේරුම්ගත හැක්කේ දරුවාගේ මනස අපට තේරුම් ගැනීමට හැකිවුව හොත් පමණි. කුඩා දරුවෙකුගේ ක්‍රියාකාරකම් ඔහුගේ හෝ ඇයගේ නොමනා වැඩ හෝ මුරණ්ඩු වැඩ හෝ දඟ වැඩ යැයි තීරණයකට එළඹීමට ප්‍රථම ඔහුගේ හෝ ඇයගේ මනසේ ඒ ක්‍රියාකාරකම හේතුවෙන් ඇති හැඟීම දැනගත යුතු නැතිද? රමෝනා කතා මාලාව යනු කුඩා දරුවන්ගේ මනස තේරුම් ගැනීමට වැඩිහිටියන් උදෙසා වූ කතා පෙළක් බව මගේ අදහසයි.

රසවත් මෙන්ම හාස්‍යජනක සහ පුදුමාකාර මෙම කතා මාලාව අප සැවොම දන්නා හඳුනන ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද මහත්මිය අතින් සිංහලට පරිවර්තනය වී ලිට්ල් හවුස් ප්‍රකාශනයක් ලෙස වෙළඳපොලට නිකුත් වී ඇත.

3. හැනාගේ සමුගැනීම
ඇමෙරිකානු ලේඛකයෙකු වූ ජායි ඈෂර් විසින් රචනා කළ “13 Reasons Why” කෘතියේ සිංහල පරිවර්තනය මෙයයි.

මෙම කතාව ප්‍රධාන චරිත දෙකක් ඔස්සේ දෙපැත්තකින් ගලා යන අතර එක් චරිතයක් වන්නේ සියදිවි හානි කරගැනීමකින් තම ජීවිතයට සමු දුන් “හැනා” නම් යුවතියයි. ඇය උසස් අධ්‍යාපනය ලබමින් සිටි අතර ඇය ඇගේ කතාව පවසන්නේ සියදිවි හානි කරගැනීමට ප්‍රථම කැසට් පටියකට තම මුලු කතාවම පවසා පටිගත කිරීමෙනි. ඇය සියදිවි හානි කරගන්නට මූලික වූ සිදුවීම් සහ හේතු සියල්ල ඇය විස්තරාත්මකව මෙහි පවසයි.

මෙහි එන අනෙක් ප්‍රධාන චරිතය වන්නේ හැනාගේ පෙම්වතා වූ “ක්ලේ” නැමැති උසස් අධ්‍යාපනය ලබමින් සිටින හැනාට පෙම්කළ තරුණයෙකි. ඔහු හැනා පටිගත කළ ඇගේ සියලුම කැසට් පටි අසන අතරවාරයේ මෙම කෘතියෙහි දෙදෙනාගේම කතාව දිග හැරෙන අතර වෙනස්ම ආරෙකින් ලියවුණු මෙම කතාව වත්මන් සමාජයට වැදගත් වූ කෘතියකි.

සුනිලා විජේසිංහ අතින් සිංහලට පරිවර්තනය වූ මෙම කෘතිය සරසවි ප්‍රකාශනයක් ලෙසින් පාඨකයන් අතරට පත්වේ. මෙහි මිල රු.650/- කි.

4. ත්‍රිත්ව
ආදරය යනු ආදරයමය. ආදරයට කිසිදු භේදයක් නැත. ආගමට කිසිදු ජාතියක්, භාෂාවක් නැත. විරුද්ධ ලිංගිකයන් සේම සමලිංගිකයන්ද කරන්නේ ආදරයමය. ආදරය ගැඹුරුය. නිශ්චලය. එය කිසිවෙකුට හෝ පෙනෙන්නේ නැත. දැනෙනවා පමණි. ආදරයට දෘශ්‍යමාන විය නොහැකිය. නමුත් ආදරයද දෘශ්‍යමාන වේ. එය ක්‍රියාවන් වලිනි. “ත්‍රිත්ව” එවැනි කතාවකි. සමලිංගිකයන් දෙදෙනෙකුගේ ක්‍රියාවෙන් දෘශ්‍යමාන වූ ආදරය පිළිබඳ කතාවකි. සමලිංගික ආදරයක් පිළිබඳ කතාවක් වූවත්, පොත කියවාගෙන යාමේදී එය සමලිංගිකයන් දෙදෙනෙකුගේ කතාවක් ලෙසට දැනෙන්නේම නැති තරම්… එය ලේඛකයාගේ දක්ෂතාවයද නැතහොත් ආදරය යනු ආදරයමය යන අරුත්බව නිසාද නොදනී. කෙසේවෙතත් මෙය රසවත් ආදරණීය කෘතියකි.

මුතුමුදලිගේ නිශ්ශංක මහතා විසින් රචිත ග්‍රන්ථ.lk ප්‍රකාශනයක් ලෙස පාඨකයන් අතරට පත් වූ මෙහි මිල රු.700/- කි.

5. පෙට් සෙමිට්‍රි
ස්ටීවන් කින්ග් විසින් රචනා කළ මෙම කෘතිය සිංහලට පරිවර්තනය කලේ චන්දන ගුණසේකර මහත්මයා විසිනි. ස්ටීවන් කින්ග් පවසන ආකාරයට ඔහු ලියූ පොත් අතුරින් ඔහුවම බියට පත් කරන්නට සමත් වූ දරුණුම කතාව මෙයයි. එයට හේතුව මෙහි ඇති යම්කිසි අවතාරයක් හෝ භූතාත්මයක් හෝ නොව, මෙහි විස්තර කොට ඇති මිනිස් සිතුවිලි තුළ වූ ගැඹුරුබව පිළිබඳ වූ සත්‍යතාවය බව මගේ අදහසයි.

තමන් බොහෝසෙයින් ආදරය කළ කෙනෙකු සදහටම තමන් හැර දමා ගියහොත්, කුමක් දැනේවිදැයි ඔබ කෙදිනක හෝ සිතා ඇතිද? මරණයෙන් කෙළවර වන ජීවිතය, අපට ප්‍රිය වූ, අප්‍රිය වූ සැමගෙන් සදාකාලිකවම සමුගැනීමට මග පාදන මරණය මියගිය අයට වඩා, ජීවත්ව සිටිනා අයට වේදනාවකි. එම දරාගැනීමට අසීරු වේදනාව හමුවේ ශාපලත් භූමියකින් හෝ පිහිට නොපතන කෙනෙක් වේද?

කතාව අති විශිෂ්ඨය. පරිවර්තනයද සාර්ථකය. ස්ටීවන් කින්ග් නම් වූ මුල් කතුවරයා තමාම ලියූ කතාවට බිය වූ හේතුව අපට මැනවින් අවබෝධ කරදීමට තරම් සමත්ව කළ පරිවර්තනයකි. මෙය මියුසස් පබ්ලිශින් හවුස් ප්‍රකාශනයක් වන අතර මිල රු.1400/-ක් වේ.

6. කර්මක්ෂය
බුදු දහමේ සඳහන් වන පරිදි අප සිතන, කරන ක්‍රියාවන් තුළින් අපගේ සසර ගමනේ මග තීරණය වේ. යම් කෙනෙකු මිය යන මොහොතේ පවතින සිත හේතුවෙන්ද එම පුද්ගලයාගේ මතු ආත්මය තීරණය වේ. වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් මිය යන පුද්ගලයෙකු කිසිසේත්ම ඉන්පසු යහපත් ආත්මයකට යන්නේ නැත. එම පුද්ගලයා එම වෛරී සිත සහ ඊර්ෂ්‍යා සහගත වූ සිත නිසාම දුගතියක ඉපිදේ. ජීවත්ව සිටිනා කාලයේ තමන් සමග ගැවසුණු නොයෙකුත් පුද්ගලයන්ට දුගති ආත්ම වල ඉපිද කරදර සිදු කරයි.

කර්මක්ෂය කෘතියෙන් කියවෙන්නේ එවැනි සිදුවීම් රාශියක් වටා ගෙතුණු කතාවකි. මෙය අද්භූත කතාවක් ලෙස යමෙකුට සිතිය හැකි අතර යමෙකුට බුදු දහම හා කර්මය වටා බැඳුණු කතාවක් ලෙසද සිතිය හැක.

මෙම රසවත්, එකදිගට කියවාගෙන යා හැකි කෘතිය රචනා කළේ ලසිත රවීන් උමගිලිය මහතායි. ප්‍රතිභා ප්‍රකාශනයක් ලෙසින් මෑතකදී නිකුත් වූ මෙහි මිල රු. 650/-කි.

7. මායා කවය
ලැරී ග්ලාස්බෲක් තම දියණියගේ පාසලේම ඉගෙනුම ලැබූ තවත් ළමයින් කිහිප දෙනෙකුගේ අතුරුදහන් වූ සිදුවීමට අත් අඩංගුවට පත් විය. ඔහු පාපොච්චාරණයද කළ අතර ඔහු මිනීමරුවා ලෙස ඔප්පු කෙරෙන කාරණා බොහොමයක් විය. ඔහු විසින් පැහැරගත් ළමුන් මරණය දක්වා ගමන් ගත්තේ අසාමාන්‍ය ආකාරයකටය. ඒ ආකාරය නම්, ඇල්කොහොල් වැනි ද්‍රව්‍යකින් දරුවන් නිද්‍රාශීලි තත්වයට පත්කොට මළ මිනියක් සමග පණපිටින් මිනී පෙට්ටියකට දමා වළ දැමීමයි. සැබෑවටම මළ, මිනී පෙට්ටිය හිමි මළ සිරුර සමග පණපිටින් සිටින දරුවා අවමංගල්‍යය උත්සවය අතර කෙසේ මිනී පෙට්ටියට දැමුවේ දැයි පැහැදිලි සාක්ෂි නොතිබූ නමුත්, ලැරී ග්ලාස්බෲක් මිනී පෙට්ටි නිර්මාණය කරන තැනැත්තා වූ නිසා බොහෝදුරට එය ඔහුට මහා වැඩක් නොවන බව සයිඩ්න් පොලීසියේ නිලධාරීන් සිතූ නිසා අනෙකුත් සාක්ෂි සමග ඔහු වරදකරු විය.

තමාගේ ඉතුරු කාලය ලැරී සිරගෙදර ගතකොට, සිරගෙදරදීම ඔහු මිය ගියේය. මෙම සිදුවීමට අදාලව පරීක්ෂණ කටයුතු සිදුකළේ ෆ්ලොරන්ස් ලව්ලේඩි යි. නමුත්, වසර 30කට පසුව ඒ සියලු දෑ එලෙසින්ම යළිත් සිදුවේ. එසේ නම් ඇය වසර 30කට පෙර සිරගෙට නියම කළේ නිවැරදිකරුවෙක් ද? වැරදිකරු කවුරුන්ද?
එය දැන ගැනීමට නම් මෙම රසවත් කෘතිය කියවිය යුතුම වේ.

“The Craftsman” නමින් Sharon Bolton විසින් රචනා කළ මෙම කෘතිය සිංහලට රසවත් හා සාර්ථක ලෙස පරිවර්තනය කළේ රුෂේනි මානිංගමුවයි. ආශිර්වාද ප්‍රකාශනයක් ලෙස පාඨකයන් අතට පත් වූ මෙහි මිල රු.975/- කි.

8. ජනසංහාරයේ දිනපොත
දෙවන ලෝක යුද්ධය යනු මා හදාරන්නට කැමතිම විෂයකි. එයට හේතුව දෙවන ලෝක ආශ්‍රයෙන් බිහිවූ පොතපත තුළින් මනුසත්කමේ වැදගත්කම බෙහෙවින් මට තේරුම් ගිය බැවිනි. මනුෂ්‍යත්වයේ සීමාවෙන් ඔබ්බට යෑමට හැකි වූ කල මිනිසාද බිහිසුණු තිරිසනෙකි යන්න ඉතිහාසයෙන් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි එකම සාධකය දෙවන ලෝක යුධ සමයයි.

“ජනසංහාරයේ දිනපොත” ලෙසින් ප්‍රදීප්කුමාර බාලසූරිය මහතා අතින් සිංහලයට පරිවර්තනය වන්නේ “Holocaust Diaries – The Untold Story of Nonna Bannister” නම් මුල් කෘතියයි. එම කෘතිය රචනා කලේ නොනා බැනිස්ටර් මහත්මියයි. ඇයගේ සත්‍ය ජීවන අත්දැකීම් ආශ්‍රයෙන් මෙම කෘතිය බිහිවිය. ඇය නාසි හමුදා අත් අඩංගුවට පත්ව කඳවුරු තුළ සිරවීමත් සමගම ඇයගේ හා ඇගේ මුලු පවුලේම අයගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් විය.

ඇය භාෂා පහකට වඩා දැන සිටි අතර ඇගේ පියා විසින් ඇයට ලබාදුන් දිනපොත් වල තම අත්දැකීම් ලියා තැබුවාය. ඇය යුද්ධය නිමා වූ සැණින් මෙම අත්දැකීම් ලියා තැබූ අතර විවිධ සිදුවීම් සම්බන්ධ අත්දැකීම් ඇය ඒවාට 80 දශකයේදී ගොනු කළාය. ඇය මෙම අත්දැකීම් සියල්ල භාෂා පහකින් ලියා තැබූ අතර ඒවා සියල්ල ඉංග්‍රීසි බසට පරිවර්තනය කොට මෙම කෘතිය බිහි කෙරුණි.

කෙසේ නමුත් නොනාගේ මරණයෙන් පසු මෙම පොත පළවීමට හේතු වූයේ ඇය ජීවත්ව සිටිද්දී මෙය පළකිරීමට තිබු බලවත් අකමැත්තයි. 2004 වර්ෂයේදී ඇගේ මරණයෙන් පසුව මෙය ප්‍රසිද්ධියට පත්විය.

අනෙකුත් දෙවන ලෝක යුද්ධය සම්බන්ධව ලියවුණු පොත පත මෙන්ම මෙයද සංවේදීය. මනුෂ්‍යත්වයේ අවශ්‍යතාවය හා එහි රැඳුණු ආශිර්වාදය මුලු ලොවටම හඬගා ප්‍රකාශ කල හැකි කෘතියකි. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත්වූ මෙහි මිල රු. 580/-කි.

9. අහිමි සෙනෙහස
ජෙනිංග්ස් යනු තම ළමාවිය සෙනෙහසින් තොරව, සෙනෙහස සොයමින් ගත කල කුඩා දරුවෙකි. පියා නොමැතිකමත්, පවුලේ මව සතුවූ වගකීම් රාශියත්, දරුවන් බහුල වූ නිසාවෙන් තනි වූ මවට දැරිය නොහැකි වූ ආර්ථික ගැටලු නිසාවෙන් වරින් වර එම පවුලේ කුඩා දරුවන්ට තාවකාලිකව එක් එක් අනාථ නිවාස හා ළමයින් බලාගන්නා පවුල් වල පිළිසරණ සෙවීමට සිදුවේ. මේ වරින් වර සිදුවන වෙනස්වීම් නිසාම ස්ථීර යාලුවෙක් පවා නොමැතිව තම කුඩා කල හිමිවිය යුතු නිදහස් ළමාවිය අහිමි වන ජෙනිංග්ස් බොහෝ අකරතැබ්බයන්ට මුහුණ දෙයි. නොයෙකුත් දුක්ගැහැට වලට මුහුණදෙන ඔහු තම කුඩා දිවිය දුක් දෝමනස්සයන්ගෙන් පුරවා ගනියි.

“They Cage The Animals At Night” නමින් Jennings Michael Burch විසින් රචනා කළ මෙම කතාව ඔහුගේ ජීවිත කතාවයි. මෙම කෘතිය තුළින් පාඨකයන් ඉතා සංවේදී සත්‍යයක් තේරුම් ගැනීමට තරම්  අවබෝධයක් ලබන බව මගේ අදහසයි. ඉතා සංවේදී කතාවක් වන මෙය ඇසට කඳුළු බිඳු නැංවීමට තරම් සමත් ය. මෙය විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක් ලෙස එල්. එස්. එස්. පතිරත්න විසින් සිංහලට පරිවර්තනය කර ඇත. මෙහි මිල රු.450/- කි.

10. ගෝහාර්
සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් ගොඩ නගා ඇති මෙම කතාව නිවුන් දරුවන් දෙදෙනෙකු වටා ගෙතුණු කතාවකි. දාමරිකයන්ගේ ක්‍රියා කලාපයක් හේතුවෙන් මව් කුසේදීම එක් නිවුන් දරුවෙකු මරණයට පත්වේ. ඒ මරණයට පත් වූ ආත්මය සාධාරණය සොයා යන ගමන පිළිබඳ කතාවයි මේ… කලකිරීම, දුක මෙන්ම බිය දැනවීමට සමත් මෙම කෘතියේ නිර්මාතෘ වන්නේ මුතුමුදලිගේ නිශ්ශංක මහතායි. ග්‍රන්ථ.lk ප්‍රකාශනයක් ලෙස පාඨකයන් හමුවට ආ මෙහි මිල රු. 1000/- කි.

සංවේදී කෘතියක් ලෙස නම් කළ හැකි මෙය එක් නිවුන් දරුවෙකුගේ ලැබීම සහ අනික් නිවුන් දරුවාගේ නොලැබීම ගැඹුරින් පෙන්වීමට සමත් ය. ජීවිතය සහ මරණය ලෙස දෙපැත්තකට බෙදුණු එම දරුවන්ගේ ජීවිත ඉතා පුදුම සහගත ලෙස දෛවයේ සරදමට ලක්වී ඇති බව මගේ අදහසයි. තම මරණයේ පළිය ගැනීම උදෙසා පැමිණෙන මියගිය නිවුන් දරුවාගේ ආත්මය වැරදිද, නිවැරදිද යන්න සිතා බැලීම පාඨකයන් වන අපට බාරයි!

ඔයාලා මේ පොත් දහයෙන් කියවලා නැති පොත් තියෙනවා නම් මං හිතනවා මගේ විස්තරයෙන් යම් කිසි අදහසක් ගන්න පුලුවන් වෙයි. ඉතින් ඔයාලටත් පුලුවන් දැන් මේ පොත් ඔයාලගේ පොත් ලිස්ට් එකට එකතු කරගන්න! මේක මගේ පුද්ගලික අදහසට අනුව හදපු ලිස්ට් එකක්. ඔයාලා සමහර විට ඒකට එකඟ වෙන එකක් නෑ. එහෙනම් ඒ ඇයි කියලා comment එකක් දාන්න. ඒවගේම ඔයාලා හිතනවානම් මේ ලිස්ට් එකට එකතු වෙන්න ඕන පොතක් තියෙනවා කියලා මම නොකියපු. ඒ මොකක්ද කියලා comment කරන්න. මේ ලිපිය කියවන අනිත් අයටත් ඒකෙන් ප්‍රයෝජනයක් වේවි.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Featured