The Call Of The Wild | Jack London බක් | චාරුණ්‍යා දෙහිගම

The Call Of The Wild | Jack London බක් | චාරුණ්‍යා දෙහිගම

5
(2)

අධික ශීත භූමි තුළින් දුෂ්කර ගමනක කරත්ත ඇද, හැල්මේ දිව ගිය ඒ අවාසනාවන්ත සුනඛයින්ගේ කතාන්දරය “බක්” නම් වේ. බක් ලෙස මෙහි හැඳින්වෙන්නේ එක් සුනඛයෙකුගේ කතාන්දරයක් වූවද, එය එදා ඒ දුෂ්කර අවධියට මිනිසුන් විසින් බලෙන් ඇද දැමූ සියලු අවාසනාවන්ත සුනඛයින්ගේ කතාන්දරයයි.

“ජැක් ලන්ඩන්” යන අන්වර්ථ නාමයෙන් කෘති රචනා කළ ජෝන් ග්‍රිෆිත් ලන්ඩන් 1876 වසරේදී ජනවාරි 12 වන දින කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හී උපත ලැබීය. ඔහුගේ මව ෆ්ලෝරා වෙල්මන් නම් වන අතර, පියා මවගේ දෙවන සැමියා වූ ජෝන් ලන්ඩන් නම් විය. ජැක් ලන්ඩන් පාසල් අධ්‍යාපනය ලැබූ පසු රැකියා ගණනාවක නිරත විය. පසුව රත්තරන් සොයා යන අදහසින් ක්ලෝන්ඩයික් වෙත යන මිනිසුන් පිරිස් හා එක්වී රත්තරන් සොයා යන්නට පෙළඹිණි. මෙම ගමන ඔහු බොහෝ සෙයින් දුර්වල කරන්නට සමත් විය. ඔහු අනෙක් මිනිසුන් මෙන්ම මන්දපෝෂණයෙන් පෙළෙන්නට විය. “ස්කර්වී” නමින් හැඳින්වුනු රෝගයටද ගොදුරු වූ ඔහුගේ විදුරුමස් ඉදිමි වේදනා විඳින්නට ඔහුට සිදුවිය. කකුල් වල මාංශි පේශීන් නිරන්තරයෙන් රිදුම් දුන් අතර ඔහු බොහෝ රළු දිවි පෙවතක් ගත කළේය. නමුත් කෙතරම් දුක් කම්කොටළු, ලෙඩරෝග වලට ගොදුරු වූවද ඔහුට රත්තරන් සොයාගැනීමේ වාසනාව හිමි නොවීය.

නමුත් එම රත්තරන් සොයාගිය ගමන ඔවුන් යෑමේදී අධික ශීත භූමි හරහා යෑමට සුනඛයින් යොදා ඇදගෙන ගිය කරත්ත භාවිතා කළ අතර එම ජීවිතය ආශ්‍රයෙන් “The Call Of The Wild” කෘතිය බිහිවීමට අඩිතාලම සැපයිණි. “බක්” නමින් චාරුණ්‍යා දෙහිගම මහත්මිය විසින් සිංහලට පරිවර්තනය කොට ඇත්තේ ඒ කෘතියයි.

බක් යනු සැපට සනීපෙට හැදුණු එක් ලස්සන සුනඛයෙක් යැයි කීවොත් කෘතියේ ආකාරයට වඩාත් නිවැරදිය. හදිසියේම බක්ගේ ජීවිතය කණපිට ගසන්නට හේතු වන්නේ බක් හොඳින් දන්නා හඳුනන එක් මිනිසෙකි. එතැන් පටන් දිවෙන මේ කතාන්දරය පාඨකයන්ගේ සිත් සංවේගයෙන් පුරලනු නොඅනුමානය.

බක්ගේ ජීවිතයේ සිදුවන වෙනස්කම් එක් සුනඛයෙකුගේ ජීවිතයේ සිදුවන වෙනස්කම් ලෙස ඇතැමෙකු දකින්නට පුලුවන. නමුත් සමහර අවස්ථා මිනිසුන් වන අපගේ ජීවිතයටද සම්බන්ධය. බක්ට දැනුණු හැඟීම් මිනිසුන් වන අපටද දැනෙනවාමය. තමන් ජීවත්වන පරිසරය, ඒ හා බැඳුණු අපට පුරුදු වටපිටාව, අප හා ආදරයෙන් සෙනෙහසින් බැඳී ඉන්නා අපගේ ප්‍රියයන්… මේ සැම එක නිමේෂයකින් සදහටම ඈත් වුවහොත්…..??? ඔබ කෙදිනක හෝ එවන් තත්වයකට මුහුණ පා ඇතිද? එවිට මේ කෘතියේ විස්තර කර ඇති බක්ගේ හැඟීම්, බක්ගේ තත්වය යම්හෙයකින් බොහෝසෙයින් ගැළපෙන බව ඔබට වැටහෙනු ඇත.

එමෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තම ජීවිත වෙනස් කොට දුෂ්කර දිවි පෙවතක් ගත කළ බක් සහ බක් වැනි වූ සියලුම සුනඛයින්ගේ කතාන්දරයද මේ කෘතිය තුළින් ජැක් ලන්ඩන් ලෝකයටම පවසා ඇත. මේ සිදුවීම් වී බොහෝ කාලයක් ගෙවී ගියද මේ කෘති ඔස්සේ ඔවුන් වෙනුවෙන් තවද අප හදවත් සංවේදී කිරීමට ජැක් ලන්ඩන්ගේ මේ අකුරු සමත් වී ඇත.

බක්ගේ ජීවිතයේ නොයෙකුත් දරාගැනීම්, අහිමිවීම්, ඉවසන අවස්ථාවන්, අසරණ වන අවස්ථාවන් සමගම පාඨක මමද බොහෝ දිගු චාරිකාවක නිරත විය. අවසානයේ මා හට දැනුනේ සැනසීමකි. රිදුම් සමග එකට මුසුවූ වේදනාබර සැනසීමකි. බොහෝ වේදනාබර, දරාගත නොහැකි සිදුවීම් සමග ජීවත් වූ මමද බක් සමගම එම ගමන ආවෙමි. බක් මගේම සුනඛයා හෝ මගේම ඇතුළාන්තය ලෙස සිතා කෘතිය සිත් සේ වින්දෙමි. කෘතිය නොකියවූ අයෙක් වේ නම්, මෙය කියවීම අපූරු වූ අත්දැකීමක් බව ඔවුන්ට පැවසීමට කැමතිය.

අවසානයේ රසවත්, සාර්ථක ආකාරයෙන් මෙය පරිවර්තනය කළ චාරුණ්‍යා දෙහිගම මහත්මියටත්, මෙය ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථ.lk ආයතනයටත් ස්තූතිය සහ සුබ පැතුම් එක් කරමි.
මා මෙතෙක් කියවූ බොහෝ පොත් අතරින් මට හමුවූ අමරණීය චරිත අතරට “බක්” ද එක්වූ බව පමණක් පවසමි.

Call of the wild (බක්) සිංහළ පරිවර්තනය මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review