වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි – Paulo Coelho

වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි – Paulo Coelho

5
(4)

පරිවර්තනය: වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි | ගාමිණී වියන්ගොඩ
Original Title: Veronika Decides To Die by Paulo Coelho

මරණය අබියස සිටිනා ඇතැමෙකුට කුමන දේවල් සිතෙනවා ඇතිද?
සියදිවි නසාගැනීමට සිතන ඇතැමෙකුට කුමන හැඟීම් පහලවෙනවා ඇතිද?
ජීවිතය අප පතනා තරම් රසවත්, නිදහස්, විවිධත්වයකින් තොර වූ විට මරණයේ පිළිසරණ පතන ඇතැමුන් සිටීද?
ඔබ මෙවැනි දෑ මීට පෙර කුමන හෝ මොහොතක සිතාබලා තිබේද?

“වෙරොනිකා මැරෙන්න තීරණය කරයි” යනුවෙන් සිංහලට පරිවර්තනය වූ කෘතියෙන් ඔබව මෙවැනි කල්පනාවන් තුළ අතරමං කරයි.

බ්‍රසීල ජාතික පාවුලෝ කොයියෝ ඉතා මෑත කාලයක පටන් සාහිත්‍ය ලොවට ඇතුලු වී සිටියි. ඔහුගේ කෘති අගය කරන පාඨකයන් ලොව සෑම රටකම පාහේ ඇත. ඔහු ලියූ ඉතා ප්‍රසිද්ධියට පත් වූ කෘතියක් වන්නේ “The Alchemist” නම් වූ කෘතියයි. එම කෘතිය ලොව භාෂා විශාල ගණනකට පරිවර්තනය විය. එම කෘතිය බොහෝ පාඨකයින් බොහෝ ආදරයෙන් වැළඳ ගත් අතර පාවුලෝ ලොව පුරා ජනප්‍රිය වීමට එම කෘතිය ඉවහල් විය. පාවුලෝ කොයියෝ ලියූ සෑම කෘතියක්ම පාහේ පාඨකයින් ආදරයෙන් පිළිගත් පොත් ය. ඔහුගේ “Veronika Decides To Die” කෘතියද එසේමය. ලොව පුරා පාඨකයින් එම කෘතියටද බොහෝ ලෙස ඇලුම් කර ඇත. ඉතා ගැඹුරින් මිනිස් සිතිවිලි හැඩගස්වා දක්වා ඇති මෙම කෘතිය මගේද ප්‍රියතම කෘතියකි.

සාමාන්‍ය පුද්ගලයෙකු හා පිස්සෙකු අතර ඇත්තේ කවර වෙනසක්ද? බොහෝ දෙනා ඊට එකිනෙකට වෙනස් බොහෝ පිළිතුරු දෙනු ඇත. නමුත් සත්‍ය වශයෙන්ම පුද්ගලයින් පිරිසක් අතර අනෙක් සෑම පුද්ගලයෙකුටම වඩා වෙනස් සිතිවිලි, හැසිරීම් ඇති තැනැත්තෙකු “පිස්සෙකු” ලෙස අප හඳුන්වනවා නොවේද? මෙම කෘතියෙන් බොහෝ වෙනස් මානයකට අප මනස රැගෙන යාම සිදුවන අතර අප යම් කිසි දෙයක් පිළිබඳ සිතන පතන ආකාරය දෙස ගැඹුරින් බැලීමට සිතට පුරුදු කරන බව මගේ අදහසයි.

සියදිවි හානිකරගැනීමට ඉතා උචිත ක්‍රමය

තරුණ වියේ පසුවන වෙරොනිකා ජීවිතයේ ඇති ඒකාකාරීබවින් පීඩිතව මරණයේ ඇති රසවත්භාවය විඳ ගැනීමට සූදානම් වේ. ඒ ඉතා අපූරු සිතුවිලි සමඟයි. ඇය සියදිවි හානිකරගැනීමට ඉතා උචිත ක්‍රමය තෝරාගනියි. එය පාවුලෝ කොයියෝ ඉතා රසවත් ආකාරයට විස්තර කොට ඇත. අවසානයේ ඇය තෝරාගන්නා ඒ උචිත ක්‍රමය වනුයේ නිදිපෙති විශාල සංඛ්‍යාවක් පානය කිරීමයි. ඇය එම නිදිපෙති පානය කොට මරණය තමන් වෙත එනතාක් යම් ලියවිල්ලක් ලියයි. දැන් මේ කෘතිය නොකියවූ අයෙක් සිතනවා ඇති සියදිවි නසාගන්නා බොහෝ පුද්ගලයන් ලියන ඒ හේතුව ඇතුලත් ඉතා කෙටි ලියමන ඇය ලියන බව! එය සම්පූර්ණයෙන්ම වැරදිය! ඇත්තෙන්ම ඇය ලියන්නේ තමන් නිදිපෙති පානය කොට මරණය ළඟාවනතුරු කියවූ සඟරාවක ලිපියකට, පිළිතුරු ලිපියක් යැයි කිවහැකි යමකි. ඔව්, ඇත්තෙන්ම එය ලිපියකි! ඉතින් අවසානයේ ඇය නැවත සිහිය ලබන විට සිටින්නේ මානසික රෝහලකය. එතැන් සිට පාඨක අපගේ සිතට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට සිතන්නට බල කෙරෙන ඒ කතාව ඇරඹේ.

මේ කතාව තුළ චරිත කිහිපයක් හමුවන අතර ඒවා “මාරි“, “සෙඩ්කා” සහ “එදුවා” වේ. මාරි සහ සෙඩ්කා ගැහැණු චරිත වන අතර එදුවා යනු පිරිමි චරිතයකි. මේ සැම එම මානසික රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයන් ය. මෙම කෘතිය එකිනෙකාට වෙනස් ආකාරයන්ගෙන් දැනෙන්නට පුලුවන. නමුත් මේ ලිපියෙන් මං පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ මේ කෘතිය මට දැණුනු සහ මම තේරුම් ගත් ආකාරයයි. මෙම කෘතියේ මගේ සිත යළි යළිත් කියවූ කොටස් කිහිපයක් ඇති අතර ප්‍රථමයෙන්ම පහත ඇති කොටස මා දක්වන්නට සිතුවෙමි. මගේ අදහස නම් ඉන් මෙය කියවන ඔබ යම් දෙයක් දෙස බැලීමට ඇති විවිධ වූ පැතිකඩයන් දැකීමට හුරුවෙනවා යන්නයි.

“අල්ලා, යොහෝවා, දෙවියන් මොන නමකින් ඔබ ඔහු හැඳිනුවත්, අද සමාජයේ ඔහු ජීවතුන් අතර නොසිටීම කරුමයකි. අද ඔහු සිටියේ නම්, අප තවමත් පාරාදීසවාසීන් වන්නට තිබුණි. ඒ අතර ආයාචනා, අභියාචනා, ඉල්ලීම්, තහනම් නියෝග, මූලික තීන්දු පිරුණු මඩ ගොහොරුවක දෙවියන් එරී ඉන්නවා නොඅනුමානයි. එපමණක් නොව, නීතියේ කිසි පදනමක් නැති හිතුවක්කාරී රීතියක් කැඩීම වෙනුවෙන් ආදම් සහ ඒවා පාරාදීසයෙන් පිටමං කිරීමට ඔහු ගත් තීන්දුව, කෙළවරක් නැති විනිශ්චය සභා ඉදිරියේ යුක්තිසහගත කරන්නටත් ඔහුට සිදුවනු ඇත. යහපත සහ නපුර පිළිබඳ දැනුම නමැති වෘක්ෂයෙන් නුඹ අනුභව නොකළ යුත්තාහ.

එසේ සිදු නොවීම ඔහුගේ අභිලාෂය විණි නම්, පාරාදීසයේ කොටු පවුරට එපිටින් මේ රුක රෝපණය නොකොට ඒ මැද්දේම ඔහු එය පිහිටෙව්වේ ඇයි? මුල් යුවළගේ විත්තියේ නීතීඥවරිය වීමට මාරිට අවස්ථාවක් විණි නම් දෙවියන් වහන්සේට එරෙහිව පරිපාලනමය අපරීක්ෂාකාරීත්වය යන චෝදනාව ඈ නඟනවා නොඅනුමානයි. වැරදි තැනක රුක රෝපණය කළා පමණක් නොව, උන්වහන්සේ ප්‍රමාණවත් මුර පොලුවලින් සහ අදාළ අනතුරු ඇඟවීම් වලින් එය වට කළේද නැත. අවම ආරක්ෂක පියවර පවා ගැනීමට එම දෙවියෝ අපොහොසත් වූහ. කවුරුත් මේ අනතුරට මුහුණපෑවේ ඒ නිසාය.
එපමණක් නොව, සාපරාධී ක්‍රියාකාරීත්වයට පෙළඹවීම යන චෝදනාවත් උන්වහන්සේට එරෙහිව ඇගෙන් නැඟෙන්ට තිබුණි. ගස පිහිටා ඇති නියමිත ස්ථානය ආදම් සහ ඒවාට උන්වහන්සේ විසින්ම පෙන්වා දුන් සේක. එතුමෝ ඒ ගැන කිසිවක් නොවදාරා සිටියෝ නම්, මේ ගස එබඳුම තවත් ලක්ෂ සංඛ්‍යාත ගසින් ගහන කැළයක එක ගසක් පමණක් වී වැදගත්කමින් හීන වනු ඇත. එසේ වූ විට මේ මිහිමත ගමනේ යෙදෙන පරම්පරාවෙන් පරම්පරාව තහනම් පල රස බැලීමේ ලොබින් මත් නොවනු ඇත.

එහෙත්, දෙවියන්වහන්සේ ගියේ වෙනම මාවතකය. රීතියක් ගොඩනැගූ ඔහු, එය උල්ලංඝණයට කෙනෙකු පොළඹවන මාර්ගයක්ද ගොඩනැඟුවේය. ඒ කුමකටද? හුදෙක් දඬුවමක් පැනවීමටය. සියල්ල සම්පූර්ණව ඇති විට, ආදම්ට සහ ඒවාට ඒකාකාරීත්වය තිත්ත වනු ඇත. එවිට දෙවියන්ගේ බසට පිටුපා යන්නට හොඳටම ඉඩ තිබේ. උන්වහන්සේ කළේ උගුලක් ඇටවීමයි. හේතුව, ඇතැම් විට එතුමන් පවා, සර්වබලධාරී දෙවියන්වහන්සේ පවා, පරිපූර්ණත්වයේ නීරස කෙඩෙත්තුවෙන් හෙම්බත් වී ඉන්නට ඇති. ඒවා නමැති ගැහැනිය තහනම් ඇපල් පල නොකන්නට, පසුගිය වසර කෝටි ගණනක් තිස්සේ වැදගත්කමක් ඇති විශේෂ කිසිවක් සිදු නොවනු ඇත.”
වෙරොනිකා මැරෙන්න තීරණය කරයි.

මෙම උපුටාගත් කොටස “මාරි” නම් මානසික රෝහලේ දැනට ප්‍රතිකාර ලබා අවසන් නමුත් පිටව නොගිය, එක්තරා කාලයක නීතීඥවරියක ලෙස බොහෝ කාලයක් සේවය කළ කාන්තාව සිතන කොටසකි. ඇත්තෙන්ම මෙය අප සමඟ කෙනෙකු පැවසුවහොත් අපද “පිස්සු මනුස්සයෙක්” ලෙස පවසනවා නොඅනුමානයි. නමුත් මෙය සිතන්නට තිබෙන තවත් එක් පැත්තක් නොවේද? තහනම් ගසේ පල අනුභව කළ ආදම් සහ ඒවා ගැන නොදන්නා කෙනෙකු නොමැති වූවත්, අප කවුරුන් හෝ මේ ආකාරයෙන් සිතා ඇතිද? කෘතියේ මෙම කොටස බොහෝ සේ තව තවත් විස්තර කොට ඇති නමුත් මා උපුටාගත්තේ මේ කොටස පමණයි. මෙම කොටසින් මා මෙතෙක් නොසිතූ බොහෝ දුරක් මිනිස් මනසක ඇති බව වටහාගන්නට පෙළඹුණි. මානසික රෝහලක් වටා ගෙතුණු මානසික ලෙඩුන් පිරිසකගේ කතාවක් ලෙස ඕනෑම කෙනෙකු මෙම කතාව හැඳින්වූවද මෙය, මිනිස් සිතක ඇති ගැඹුර සහ සිතුවිලි වල දැඩිබව, ගැඹුරුබව සහ පැටලිලි ස්වභාවයත්, විටෙක ඇති අති පැහැදිලි විචිත්‍ර ස්වභාවයත් මැනවින් පෙන්වා දෙමින් ලියා ඇති බව මගේ අදහසයි.

ආයාසයෙන් සඟවාගෙන හද පත්ලෙම වළදමා ඇති සිතුවිලි ගොන්නක්

සියදිවි හානිකරගැනීම අරමුණු කොටගෙන නිදි පෙති විශාල ප්‍රමාණයක් පානය කොට, මානසික රෝහලක ප්‍රතිකාර ලබන වෙරොනිකා ජීවිතය යනු කුමක්ද සහ තමාට සැබැවින්ම වුවමනා වූයේ කුමක්ද යන්නත්, ඇය තමා කවුද යන්නත් තේරුම් ගනියි. නමුදු ඒ තේරුම් ගැනීම සහ තම සිතේ ගැඹුරුම කොටසෙහි ඇති සිතුවිලි හඳුනාගන්නේ ඇයගේ මරණය තව දින කිහිපයකින් සිදුවන බව දැනගැනීමෙනි. ඇයට මහා කාලයක් තව ජීවත්වන්නට ඇති බව ඇය දැනසිටි කාලයේ, ඇය තමාට වුවමනා කුමක්ද යන්න නොදැන සිටි කාලයේ, ඇය ජීවිතය ඒකාකාර, නීරස හා අලසබවින් පිරුණු එකකැයි සිතූ කාලයේ ඇය මරණය විචිත්‍ර යැයි සිතා මරණය පැතූවද, තමාට තව වැඩිපුර කාලයක් ජීවත්වීමට නොමැති බව දැනගැනීමෙන් සහ මානසික රෝහලේ දිවි ගෙවූ මානසික රෝගීන් හමුවේ ඇයට ජීවත් වීමට වුවමනාවක් සහ ආශාවක් වගේම, මියයාමට බියක් දැනෙන්නට පටන් ගනියි. එම සිතුවිලි, පාඨකයාට ඕනෑම මිනිස් සිතක ගැඹුරේ ඇති පොදු සිතුවිලි කිහිපයක් ගැන අර්ථයක් දෙන්නට උත්සාහ කරයි. මිනිසුන් වන අප සැමගේම හද පතුලෙහිම ඇති, අප ආයාසයෙන් සඟවාගෙන ඇති සිතුවිලි හෝ හද පත්ලෙම වළදමා ඇති සිතුවිලි ගොන්නක් පාවුලෝ ඉතා විශිෂ්ඨ ලෙස වෙරොනිකා, සෙඩ්කා, මාරි හා එදුවා හරහා අපට නැවත මතක් කරවයි. ළං කරවයි. පාවුලෝ කොයියෝගේ ඉතා විශිෂ්ඨ කෘතියක් ලෙස මෙය දැක්වීමට හැක.

ඉතා රසවත් ආකාරයෙන් මෙය පරිවර්තනය කොට ඇති ගාමිණී වියන්ගොඩ මහතාට ස්තූති කළ යුතුමය. “වෙරොනිකා මැරෙන්න තීරණය කරයි” කෘතිය සරසවි ප්‍රකාශකයන් විසින් නව මුද්‍රණයක් ලෙස 2019 වසරේදී පාඨක පිරිසට ලබාදී ඇත. මිනිස් සිතෙහි දොරටු වසා දමා ඇති ඉසව්වක ඇති අමුතුම තාලයක සිතුවිලි ගොන්නක් නැවත දොර හැර සිතා බලන්නට යොමු කරන අරුම පුදුම කෘතියක් වූ මෙය පාඨක හදවත් තුළ නොමැකෙන සටහනක් වනු ඇත.

පොත මිලදී ගැනීම සඳහා පහත යොමුවෙන් පිවිසිය හැක.
https://grantha.lk/weronika-marenna-theeranaya-karai-paulo-coeiho-gamini-fast.html

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review