වසර විසිපහක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව පුරා පැතිරී තිබූ සිවිල් යුද්ධය හේතුවෙන් රටෙහි ජනතාව විඳි දුක් පීඩාවන් මෙතෙකැයි කියා නිම කළ නොහැක. එම යුද්ධය හේතුවෙන් අපට අහිමි වූ මිනිස් ජීවිත ගණනද විශාල ප්‍රමාණයකි. ලොකු, කුඩා කාටත් මරු කැඳවූ, එක සේ වේදනාවන් ඇති කළ බෝම්බ ප්‍රහාරයක් කොතෙකුත් රට පුරා සිදුවිය.
2009 වර්ෂයේ අවසන් වූ මෙම සිවිල් යුද්ධය, එය අවසන් වීමට ප්‍රථම ලක් මව් පොළොවේ උපත ලද දරුවන් බොහෝ ගණනක් තම මව්වරුන්ට අහිමි කළ කුරිරු යුද්ධයක් විය. යුද්ධය වනාහී අරුත්සුන් දෙයක්මය. එයින් වන්නේ මිනිස් ජීවිත අහිමි වීමම පමණි. අවසානයේ බැලූ කළ ලේ කන්දක් සහ මිනිස් මරණ ගණනාවක් පමණක් උරුම වන දුක්ඛිත ඛේදාන්තයකි.
“බෝම්බ තුනක්” කෘතිය රචනා වී ඇත්තේ එලෙස පැවති සිවිල් යුද්ධයේ සිදුවන බෝම්බ ත්‍රිත්වයක පිපිරීම් ආශ්‍රිත ප්‍රබන්ධ කතාවකිනි. එල්ටීටීඊ සංවිධානය මගින් සිදුකරනු ලබන කොළඹ ඇතුළත ස්ථාන තුළ පුපුරුවා හැරීමට නියමිත බෝම්බ ත්‍රිත්වයක් හා ඒ වටා බැඳුණු අහඹු සිද්ධි දාමයකින් මෙම කෘතිය නිර්මාණය වී ඇත. ප්‍රබන්ධයක් ලෙස විශ්වාස කිරීමට අපහසු වන අයුරින් මෙම කෘතිය රචනා කර ඇත.
මෙම යුද්ධය පවතින සමයේ මම ද කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක ශිෂ්‍යාවක් වූ නිසාම එවකට දෙමව්පියන් තම දූ දරුවන් පාසල නිමවී සිය නිවෙස් කරා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන්, දුක් ගින්දරෙන් දැවෙමින් බලා උන් සමය මට අදටද හොඳ හැටි මතකය. මෙම කෘතිය මා මනස තුළට ගැඹුරින් කිඳා බැස ගැනීමට හේතුව සමහරවිට එයද විය හැකිය. අනූ ගණන් වල මරදාන එකම සුන්බුන් ගොඩක් කරමින් පුපුරමින් ගිය ඒ බෝම්බයෙන් කළ විනාශය අදටද මා මතකයන් තුළ අපැහැදිලි සිතුවමක් විලසින් රැඳී ඇත. මා ප්‍රිය කළ සමහර කඩ සාප්පු කිසිවක් මා පාසල නිමවී පැමිණෙන විට නොතිබුණි. ඒ වෙනුවට මා දුටුවේ සුන්බුන් විශාල ප්‍රමාණයක් පමණි.
එම සිදුවීම දරුණු ලෙස මා මනසට බලපෑ බව මට අදටද ස්ථීරය. මා කුඩා වූවත්, මා දැකි ඒ සුන්බුන් දසුන් තුළින් මා මටම කියාගත්තේ “මං ලොකුවුනාම නම් මෙහෙම දේවල් වෙන්න දෙන්නේ නෑ.” කියායි. එදා ඒ සිතූ විලසට මට වැඩිහිටියෙක් වූ පමණින් යුද්ධය නැවැත්වීමට නොහැකි වූ නමුත්, අන් කිසිම ආගමිකයෙකු හෝ ජන කොට්ඨාශයක්, මිනිසෙක් පහත් කර හෝ තලා පෙලා දැමීම මා කිසිදු දිනයක නොකර වැළකී සිටියෙමි. එයට හේතුව වන්නට ඇත්තේ එදා ඒ මා දුටු දසුනේ අහිමිවීම් දරාගැනීමට සෑම ජාතියකම අයට සිදු වූ නිසා වන්නට ඇත. අදටද මා දකින බොහෝ අවස්ථාවන් වල ජාති භේද කරමින් කවුරුන් කතා කළත් මා එයින් වැළකී සිටිනුයේ මේ සියල්ලම මිනිස් ජීවිත වන නිසාත්, මිනිස් ජීවිත යනු ආගම්, ජාති භේද අනුව වටිනාකම වෙනස් නොවන නිසාත් ය.
ග්‍රන්ථ.lk ප්‍රකාශන ආයතනය මගින් ප්‍රකාශයට පත්කළ, මුතුමුදලිගේ නිශ්ශංක මහතා විසින් රචිත “බෝම්බ තුනක්” කෘතිය කියවන පාඨකයින්ට දැනෙන තේරෙන එක් යම් දෙයක් ඇත. එනම් වේදනාවන්, අහිමිවීම් සෑම ජාතියකම, සෑම ආගමකම, සෑම මිනිසෙකුට එක හා සමාන පොදු දෙයක් වන බවයි. මෙම කෘතියේ අකුරු පේළි අතර නොකී ගැඹුරු සංවේදනාව එය වන බව මගේ අදහසයි.
ඔබගේ කුතුහලය වෙනුවෙන් බෝම්බ තුනක් කෘතියේ ආරම්භ කොටස මෙහි උපුටා දක්වමි.