දමරඣ – සෝදුපත් පරීක්ෂකවරයෙක් ගේ ඇසින්

දමරඣ – සෝදුපත් පරීක්ෂකවරයෙක් ගේ ඇසින්

5
(1)

මට ඉන්තේරුවටම කියන්න පුළුවන්, දමරඣ කියවලා අවසානයේ දී ඔබ අනිවාර්යෙන් විනෝද චාරිකාවක් සූදානම් කරගනීවි. ඒ දමරඣ තුළින් ඉසුරු ඔබට පෙන්නලා තියෙන ඓතිහාසික සාධක හා මූලාශ්‍ර ඇහෙන්ම දකින්න. ඒ බිම්වල, ඒ ස්ථානවල පහස විඳින්න. ඔබ සබරගමු පළාත් වාසියෙක් නම් සමහරවිට, දමරඣ කියෙව්වට පස්සෙ ඔබ කාටත් හොරෙන් “ඔබේ සබරගමු පොළොව” සිපගනීවි. දණින් වැටිලා, අතට අහුවෙන සීමාවෙ පස් ටික අතගාලා පොළොවට වඳීවි… 🙏🙏🙏

ඇයි මම මෙහෙම කියන්නේ කියලා, ඔබ පොත කියෙව්වාට පසුව තේරුම් ගනීවි.

මම මෙච්චර අගය කරන පොත කුමක් ද? මොකක්ද මේ දමරඣ? මේ අකුර කියවන්නෙ කොහොම ද? ඔබට ප්‍රශ්න වැලක් ඇති බව මා දන්නවා. කරුණාවෙන් ඉවසීමෙන් මාත් එක්ක ඉදිරියට යමු. මට හැකි පමණින් මම ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවා.

මම වෘත්තීයෙන් නිදහස් සෝදුපත් පරීක්ෂකවරයෙක්. මම මේ ලිපියෙන් ප්‍රධාන වශයෙන් පෙන්වන්න යන්නෙ සෝදුපත් පරීක්ෂාව තුළ මම මේ ග්‍රන්ථයේ දැකපු දැකපු පහත සඳහන් කොටස් ගැනයි.

  1. භාෂාව හා ශිල්පීය උපක්‍රම
  2. ප්‍රස්තුත(ය), ගුණාත්මය හා ඇතුළාන්තය
  3. සිද්ධීන් හා මගේ අනුභූතීන්

භාෂාව හා ශිල්පීය උපක්‍රම

මේ පොතේ විශේෂත්වය තමයි ඔබට එකම පොතෙන් භාෂා රටා දෙකක රසය විඳින්නට හැකිවීම. ගැඹුරු ව්‍යාකරණ සහිත ගම්භීර භාෂා රටාව හා සරල ව්‍යාකරණ සහිත සාමාන්‍ය භාවිත භාෂා රටාවයි ඒ දෙක.

මේ පොතේ තිබෙන ගම්භීර භාෂා රටාවේ තවත් විශේෂත්වයක් තිබෙනවා. සාමාන්‍යයෙන් “ගැඹුරු ව්‍යාකරණ සහිත” කියලා කිව්වාම බොහෝ පාඨකයින් කියවන්නට අතට ගන්නා පොතත් නොකියවා තබන තත්වයක් තමයි අද දකින්නට තියෙන්නේ 😁 නමුත් දමරඣ තුළ එවැනි තත්වයක් නැති බව විශේෂයෙන් ඔබට කියන්නම ඕනෙ. මම ඔබට වගකීමෙන් කියනවා, ඔබ දමරඣ කියවනවා නම්, ගැඹුරු භාෂා රටාවක් තිබෙනවා කිව් පළියට ඔබ “සිංහල – සිංහල ශබ්දකෝශය” සමඟ දමරඣ කියවිය යුතු නැහැ 😂😂 ඒ ගැඹුරු භාෂාව යෙදී තිබෙන්නේ කතාව තුළ පුරාණ බව හා ආවේණික රසය රකින්නටයි.

යමෙකුට දමරඣ තුළ භාෂා නීරසභාවයක් නම් ඇති වන්නේම නැති බවට මම මගේ වම් කන ඔට්ටුවට දමලා කියනවා. හේතුව තමයි, ගැඹුරු හා සරල භාෂා රටාවන් මාරුවෙන් මාරුවට යොදල තියෙන නිසා භාෂාවේ ඒකාකාරීබව නැතිව යනවා.

දමරඣ තුළ තිබෙනවා අතිශය රහසිගත, පෙරැළියකට තුඩු දිය හැකි හා අතිශය ආන්දෝලනාත්මක හෙළිකිරීම් කීපයක්. ඒ කරුණුවලට අදාළවයි භාෂාවේ යෙදීම් වෙලා තියෙන්නේ… ඇතැම් වචන අපි අසා තිබෙන ආකාරයට වුණත් ඊට වෙනස්ම විදියට යොදල තියෙනවා. සමහර වචන, ස්ථාන නාම, පුද්ගල නාම කියවනකොට ඔබට දැනේවි හුරු වුණත් නුහුරු ගතියක්.

වැඩිය ඕනෙ නෑ, ඔබට පොතේ නම කියවීමෙන්ම අලුත් භාෂාමය අත්දැකීමක් එනවනේ 😂😂😂 ඔබ මෙතෙක් කල් මහප්‍රාණ ජ අකුර ශබ්ද කරලා නැත්නම්, කටට හුරු නැත්නම් ඔන්න ඒකත් සිද්ධ වෙනවා මේ පොත ගත්තම. දමරඣ එකේ අවසාන අකුර මඤ්ඤොක්කා හෝ පිපිඤ්ඤා හෝ කොම්පඤ්ඤ වීදිය ලියන්න ගන්න ‘ඤ’කාරය හෝ ‘ඥ’කාරය කියල නේද ඔබ ශබ්ද කළේ…😂😂😂 නෑ නෑ. ඒක මහප්‍රාණ ‘ජ’කාරය.

ප්‍රස්තුත(ය), ගුණාත්මය හා ඇතුළාන්තය

දමරඣ තුළ ඇති ප්‍රස්තුතය නැත්නම් පොතට හේතු වූ කාරණාව අතිශයින්ම විශිෂ්ට හා අතිශයින්ම ගෞරවාර්හයි.

මම ඔබට විශේෂම එකම දෙයක් කියන්නම් පොතේ ඇති ඇතුළාන්තය පිළිබඳව. පොත කියවා අවසන් වුණාම ; ඔබ ශ්‍රද්ධාවත් බෞද්ධයෙක් නම්, ඔබ දෑත හිස් මුදුනට එසවේවි. ඔබ කතෝලිකයෙක් නම්, ඔබට “අනේ දෙවියනේ” කියල කියවේවි. ඔබ හින්දු භක්තිකයෙක් නම්, ඔබ අනිවාර්‍යයෙන්ම භගවත් ගීතාව නැවත පෙරළාවි. ඔබ ඉස්ලාම් භක්තිකයෙක් නම්, ඔබට නිරායාසයෙන්ම “අල්ලා…” යැයි ඔබේ උතුම් දෙවියන් වහන්සේට ආමන්ත්‍රණය වේවි.
දමරඣ වැදගත් වන්නේ ඔබ කියවන නිසාම නෙවේ. ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම්, විශේෂයෙන්ම ඔබ ප්‍රෞඩ ඉතිහාසක් ශ්‍රී ලංකාවට තිබූ බව විශ්වාස කරන ආඩම්බරකාර ශ්‍රී ලාංකිකයෙක් නම්, ඔබ මේ දමරඣ ඔබේ අත්පොත කරගනීවි.

ශ්‍රී ලංකාව වැළලී ගිය හා වළලා දැමූ ශ්‍රේෂ්ඨ ඉතිහාසයයක් ගැන ප්‍රසිද්ධ රටක්. ඔබ ඒ ගැන ගවේෂණාත්මකව තොරතුරු හොයන්නෙක් නම් ඔබට දමරඣ හඳුන්වාදීම ගැන ඔබ මට විශේෂයෙන්ම ස්තූති කරාවි දවසක. (නෑ නෑ. තෑගි නම් ඕනෙම නෑ. 😁😁 එපා එපා. ඕකට මොකටද තෑගි.)

ක්‍රිස්තුවර්ෂ විතරක් නෙවේ; ක්‍රිස්තු පූර්ව පිළිබඳව, පුරාණ ශ්‍රී ලංකාව, මූල ආගම්, මූල දර්ශන හා විශ්වාස, අතීත ශිල්ප ක්‍රම, අතීත සටන් ක්‍රම, සෙල්ලිපි, බ්‍රාහ්මීය අක්ෂර, ඓතිහාසික සාධක, පුරාවිද්‍යාත්මක තොරතුරු, ජනප්‍රවාද හා ජනශ්‍රැති, අතීත ශ්‍රී ලාංකික අභිචාර විධි, වසර දෙදහස් ගණනකට පෙර ශ්‍රී ලාංකික දේශපාලන / ආර්ථික / සමාජීය / සංස්කෘතික පසුබිම, රාජාවලිය, විශේෂයෙන්ම අප්‍රකට රාජාවලිය වැනි සමගාමී හා බද්ධ කරුණු සිය ගණනක් පිළිබඳව තොරතුරු දමරඣ තුළ අඩංගුයි.

ඔබ තේරවිලි, තේරවිලි, දහම්ගැට, වෙදගැට, ගැටපද හෝ ඓතිහාසික සිද්ධීන්වල ගැට විසඳන්න හෝ ඒ ගැන විමසිලිමත්ද? එහෙනම් ඔබ අනිවාර්‍යයෙන්ම දමරඣ කියවන්නත් ඕනෑමයි…
අද වෙනකොට ලෝකෙ බොහෝ රටවල් තමන්ගේ වැළලුණු ඉතිහාසය සොයාගෙන යනවා. ඔවුන්ගෙන් සමහරෙක් අවුරුදු 100 – 200 ඉතිහාසයත් පණ පුදල රකිනකොට අපි වගේ මිනිස්සු එළිපිට පේන්න තියෙන අවුරුදු 5000 – 10000 ඉතිහාසයත් වළලලා දාන්න හදනවා. එහෙව් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක පහස ලබාගෙන ගලන මේ දමරඣ කතාව ඒ ඉතිහාසයට “දෘෂ්‍යමාන මූලාශ්‍ර” පවා ඔබට පෙන්නගෙනමයි ගලා යන්නේ.

කොහොම වෙතත් මේ දමරඣ කියන්නේ සම්පූර්ණයෙන්ම ඉතිහාසය පිළිබඳව දැනුම කෝෂ්ඨාගාරයක් කියල නම් ඔබට දැන් ආයෙත් මම පුන පුනා කියන්න ඕනෙ නෑ.
දමරඣ තුළ සොහොන් කොත්, පස් තට්ටු, ඇටසැකිලි විතරක්ම නෙවේ, තව බොහෝම දේ තියෙනවා..

මම ඔබට එහි තියෙන එක දෙයක් වචන කීපයකින් කියන්නම්..

“කටු ඇති” අතුඅග පිපුණු “රතු රෝස” 😁😁😁😍 මතක තියාගන්න, නිකම් රතු රෝස නෙවේ, “කටු ඇති” රතු රෝස 😉😉

ඔබ නිකමට හරි හිතල තියෙනවද එක රටක ඓතිහාසික සාධක හෝ පුරාවිද්‍යාත්මක සාධක තවත් රටක දියුණුවට හෝ ප්‍රගමනයට හේතු වෙනවයි කියල? එහෙම වෙනවා කියල දමරඣ තුළින් කියවෙනවා. හැබැයි, ඒ දේවල් අවශ්‍ය අයට නොලබුණොත් මොකක් වේවිද? ඒක නම් කොහෙත්ම සුන්දර හෝ සරල දෙයක් වෙන්නෙ නෑ.. අනිවාර්‍යයෙන්ම ආයුධ, රතුපාට ලේ තියේවි..

අහ් මම ස්පොයිල් කරන්නෑ කියලා ලිපියෙ මුලින් කිව්වනෙ? අමතක වුණානෙ… සමාවෙන්න ඈ… 😒😒 මම කියන්නෙ මෙච්චරයි… දමරඣ පොතේ පිටු අතරෙත් අත්බෝම්බ, තුවක්කු එහෙම තියෙනවා. සමහර පිටු අස්සෙන් ලේත් ගලනවා…

සිද්ධීන් හා මගේ අනුභූතීන්

දමරඣ තුළ සිද්ධි බොහෝම සරලයි. ශෛලීන් දෙක වෙන වෙනම, මාරුවෙන් මාරුවට පොත තුළ ගලනවා.

හැබැයි එහෙම කිව්වට ඔබ හිතන්න නම් එපා ඔබට පිටු ඇර ඇර, මැද්ද ඇර ඇර, ඡේද මඟෑර මඟෑර, වාක්‍ය අතෑර අතෑර කියවන්න පුළුවන් කියල. බැරි නම් නෑ, කියවන්න පුළුවන්. හැබැයි ඉතින් වැඩක් වෙන එකක් නම් නෑ… එහෙම කියවල ඔබ මට හෝ පොතේ කර්තෲ ඉසුරුට එහෙම දොස් කියාගෙන එන්න එපා. 😒😒 විශේෂයෙන්ම මතක තියාගන්න, දමරඣ පොත ශෛලීන් දෙකකට ගලා යනවා වුණාට සිද්ධීන් අවිච්ඡින්නයි. බිඳිලා හෝ වෙන් වෙලා නෑ. සිද්ධි සියල්ල එකිනෙකට සම්බන්ධයි.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review