රෝල්ඩ් ඩාල් සහ ඔහුගේ කෘතීන්!

රෝල්ඩ් ඩාල් සහ ඔහුගේ කෘතීන්!

3.3
(4)

1916 වර්ෂයේදී එංගලන්තයේ කාර්ඩ්ෆ් ලෑන්ඩ් වල “මාරිවිලා” මන්දිරයේ උපත ලැබූ රෝල්ඩ් ඩාල් කුඩා දරුවන්ගේ ලෝකය සුන්දර කළ සුවිශේෂී පුද්ගලයෙකි. හැරල්ඩ් ඩාල් සහ සොෆී මැග්ඩලේන් රෝල් ඩාල්ගේ පියා සහ මව වේ. සහෝදර සහෝදරියන් හය දෙනෙකු අතර හැදී වැඩුණු රෝල්ඩ් ඩාල් අනාගතයේදී මෙතරම් ප්‍රසිද්ධියට පත්වනු ඇතැයි එකල කිසිවෙකුත් නොසිතන්නට ඇත.

රෝල්ඩ්ගේ ප්‍රථම ළදරු පාසල වන්නේ “ද එල්ම්ට්‍රී හවුස්” වන අතර වයස අවුරුදු හතේදී ඔහු ලෑන්ඩෑග් කැතේඩ්‍රල් පාසලට ඉගෙනුම සඳහා ගියේය. පාසල අසළ රසකැවිලි කඩයක් වූ ප්‍රැචට් මහත්මියගේ කඩය සහ එහි වූ ෂර්බර්ට් සකර්ස් සහ ලිකරයිස් බූට්ලේසස් රසකැවිලි වර්ගය රෝල්ඩ් ඩාල්ගේ මතකයන් අතර ප්‍රබලය.

1925 වර්ෂයේදී ශාන්ත පීටර් විද්‍යාලයට ඇතුලත් කරනු ලැබූ රෝල්ඩ් ඩාල්ගේ පාසල් ජීවිතය අමිහිරි එකක් විය. එය ඔහු නේවාසිකව ඉගෙනුම ලැබූ පළමු වතාව විය. ඔහුගේ නේවාසිකාගාරයේ පාලිකාවගේ සැරපරුෂ ගති පසුව ඔහු නිර්මාණය කළ කෘති වල දුෂ්ඨ සහ නපුරු චරිත නිර්මාණය කිරීමට අඩිතාලමලක් වන්නට ඇත.

පසුව යළිත් 1929 වර්ෂයේදී ඩර්බිෂයර්හී රෙප්ටන් විද්‍යාලයට ඇතුළත් කරනු ලැබූ රෝල්ඩ් ඩාල්ගේ පාසල් දිවියේ අවසාන පාසල එය විය. එහිදීද ඔහුගේ පාසල් දිවිය එතරම්ම මිහිරි නොවිණි. 1934 වර්ෂයේ සැප්තැම්බර් මස රෝල්ඩ් ඩාල් තම පළමු රැකියාව සඳහා “ෂෙල්” සමාගමට එක්විය. එම රැකියාව ඔහුගේ දිවියෙහි මහත් වූ වෙනසක් කිරීමට සමත් විය.

රෝල්ඩ් ඩාල්ට සැමවිටම අවැසි වූයේ වික්‍රමයන්ගෙන් පිරි ජීවිතයකි. එනිසාම ඔහුට අප්‍රිකාව වැනි රටකට යෑමට අවැසි විය. ෂෙල් සමාගමේ රැකියාවෙහි රෝල්ඩ් දැක්වූ දක්ෂතාවය හේතුවෙන්ම ඔහුට 1938 වර්ෂයේදී SS Mantola නෞකාවේ නැගී නැගෙනහිර අප්‍රිකාව බලා ගමන් කිරීමට අවස්ථාව සැලසිණි. එම ගමන ඉතා දුෂ්කර එකක් වූවද රෝල්ඩ් ඩාල් මුල්වරට බෝට්ටුවේ සිට ඩාර් එස් සලාම් දුටුවිට ඔහුගේ සිත ප්‍රීතියෙන් පිරී ගියේය. එය ඔහුගේ දිවියේ අමතක නොවන ප්‍රබල මතකයක් විය.

ෂෙල් සමාගමේ, නැගෙනහිර අප්‍රිකාවේ තිබූ නිල නිවස රෝල්ඩ් ඩාල්ට ප්‍රියවිය. ඔහු පරිසරයට මෙන්ම සතුන්ටද බොහෝ ප්‍රියතාවයක් දැක්වීය. ඔහු නැගෙනහිර අප්‍රිකාවේ ලැබූ අත්දැකීම් බොහෝ විය. එම අත්දැකීම් හා මතකයන්ට ඔහු බොහෝසෙයින් ආදරය කළේය. නමුත් ඔහු ඩාර් එස් සලාම් හී ගත කළ ඔහු ප්‍රිය වූ ජීවිතය ඉතා ඉක්මනින් නිමාවිය. එයට හේතු වූයේ දෙවන ලෝක යුද්ධයයි. එම කාල වකවානුව වන විට බ්‍රිතාන්‍යයන්, ජර්මානුවන් සමඟ යුද්ධයක් ඇතිකර ගැනීමට සූදානම් වී සිටියේය. එනිසාවෙන් එහි සිටි සියලුම ඉංග්‍රීසි ජාතිකයින් තාවකාලිකව හමුදා නිලධාරීන් ලෙස පත් කෙරිණි. එය රෝල්ඩ්ගේ ජීවිතයෙහි තවත් විශාල වෙනසක් කරන්නට හේතු වූ සිදුවීම් පෙළක ආරම්භය විය.

කිසිදිනෙක තුවක්කුවක් පාවිච්චි කර නොතිබුණද, රෝල්ඩ් කැපවීමෙන් තම රාජකාරිය ඉටු කලේය. ඔහුට පැවරුණේ යුද ප්‍රකාශ කළ විට ජර්මානුවන් පැනයාමට යොදාගත හැකි වෙරළ තීරයක් ආරක්ෂා කිරීමේ මෙහෙයුමක අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කිරීමයි. ඉන්පසු බ්‍රිතාන්‍යය හා ජර්මනිය අතර යුද්ධය ආරම්භ විය. 1939දී රෝල්ඩ් ෂෙල් සමාගමේ රැකියාවට සමුදුන් අතර රෝල්ඩ් ඩාල් ගුවන් නියමුවෙක් ලෙස රාජකීය ගුවන් හමුදාවට බැඳුණි. ඔහු පුහුණුවීමට නයිරෝබී හී මූලික පුහුණුවීම් පාසලට ඇතුලත් විය. කල්ගත වීමත් සමඟ ඔහු එහි තරමක් දක්ෂ විය.

ඉන්පසු ඔහුව ඉරාකයේ හබ්බේනියා වෙත යැවීය. ඒ උසස් පියාසර පුහුණුව නිම කිරීමටයි. එයද අසීරුතා මැද නිම කළ රෝල්ඩ් ඉන්පසු හමුදා ඒකකයට එකතු විය. ඔහුට “ග්ලැඩියේටර්” නම් යානයක නැගී ඔහු වාර්තා කළ යුතු හමුදා ඒකකයට එකතු වන්නට පියාසර කිරීමට අණ ලැබිණි. නමුත් ඔහු එම වර්ගයේ ගුවන් යානා මින්පෙර හසුරුවා තිබුනේ නැත. එම යානයේ ගමන් කරමින් සිට එය ගොඩබැස්වීමට යන අවස්ථාවේ ඔහු දරුණු අනතුරකට ලක්වීය.

අනතුරින් පසු ඔහුට මාස පහක පමණ කාලයක් ප්‍රතිකාර ගැනීමට සිදුවිය. එම අනතුරින් ඔහුගේ හිස්කබල බිඳී තිබුණි. එය නැවත සවිමත් වූවද පසුව ඔහුට ජීවිතකාලය පුරාවට හිසේ කැක්කුම් ඇතිවීමට හේතුවක් විය. හිස්කබල පමණක් නොව, ඔහුගේ කැඩී බිඳීගිය නාසයද ප්ලාස්ටික් සැත්කමකින් සාදන්නට සිදුවිය. එමෙන්ම ඔහු මාස හතරක් පුරාවට එම අනතුර හේතුවෙන් සම්පූර්ණයෙන්ම අන්ධ වී සිටියේය.

අනතුරින් පසුව ප්‍රතිකාර ලැබූ පසුවත් ඔහුට යළිත් පියාසර කිරීමේ කටයුතු වලට යොමුවීමට අවශ්‍ය වීය. එලෙසම ඔහු යළිත් ගුවන් නියමුවෙක් ලෙස එක්විය. ඔහුගේ දිවියේ සිදුවූ යම් යම් දේවල් පසුකලකදී ඔහුගේ නිර්මාණයන්ට අඩිතාලමක් විය. ඔහු නිර්මාණය කළ “Going Solo” කෘතියට ඔහු යොදාගත් කරුණු අතර මෙම නියමුවෙකු ලෙස කටයුතු කල සමයේ මතකයන් යොදාගෙන ඇත.

කෙසේනමුත් පසු කලකදී ඔහුට ඇති වූ දරුණු හිසේ කැක්කුම් හා සිහිමූර්ඡා වීම් හේතුවෙන් ඔහු ඒ නියමුවෙක් ලෙස ගතකළ සමයට සමුදුන්නේය. ඉන්පසු තම මව සොයාගිය රෝල්ඩ් බසයෙන් බැසගත් මොහොතේම තම මව තුරුලට දිව ගියේය. ඒ ඔහු තම මව දුටුවේ වසර තුනකට පසුය.

1943 වර්ෂයේදී රෝල්ඩ් ඩාල්ගේ ලේඛණ දිවිය ඇරඹිණි. “James and The Giant Peach” කෘතිය ඔහුගේ මුල්ම ළමා නවකතාව විය. ඔහුගේ අවසන් ළමා නවකතාව වන්නේ “Matilda” ය. රෝල්ඩ් ඩාල්ගේ කෘති සිතුවම් වලින් හැඩ වී කුඩා දරුවන් අතරට පත් වීය. එම සිතුවම් ඇඳ රෝල්ඩ් ඩාල්ගේ කෘති හැඩකර දුන්නේ ක්වින්ටන් බ්ලේක් ය. ක්වින්ටන්, රෝල්ඩ්ගේ පොත් සියල්ලම පාහේ සිතුවම් වලින් හැඩ කළ රෝල්ඩ් මෙන්ම කුඩා දරුවන්ගේ ලෝකය සුන්දර කළ තවත් අයෙකි. රෝල්ඩ් ඩාල් යනු කුඩා දරුවන් උදෙසා දරුවන්ගේම ලෝකයක් නිර්මාණය කරමින්, දරුවන්ගේ පරිකල්පනයන්ට උචිත ලෙස කෘති නිර්මාණය කළ අයෙකි. මහලු මිනිසෙක් කුඩා දරුවන් එතරම් සතුටු වන ආකාරයට කෘති නිර්මාණය කිරීම පුදුම සහගත වන්නේ මිනිසුන් වයසින් වැඩෙත්ම ඔවුන්ට කුඩා දරුවන්ගේ මනස වටහා ගැනීම ක්‍රමයෙන් අසීරු වීමත්, ඔවුන් කුඩා කළ සිතූ ආකාරය බොහෝවිට අමතකව යාමත් ය. නමුත් රෝල්ඩ් ඩාල් තම් සිතුවිලි දරුවන්ට කතා ගෙතීම උදෙසාම ප්‍රවේශම් කරගත් සෙයකි.

රෝල්ඩ් ඩාල්ගේ වැඩිමහලු දියණියගේ අකල් වියෝව ඔහු මානසිකව ඇද දැමීමට සමත් වීය. තම ජීවිත කාලය පුරාම ඔහු ඒ වේදනාව රහසේ අත්වින්දේය. එම දියණියගේ නම ඔලිවියා ය. James and The Giant Peach කෘතියත්, The BFG කෘතියත් ඔහු පිළිගැන්වූයේ ඇගේ නමටය. ඇගේ අකල් වියෝව සිදුවූයේ සරම්ප නිධිකර්පරදාහය නැමැති රෝගී තත්වයෙනි. එනිසාම ඇගේ වියෝවෙන් පසු රෝල්ඩ් පාසල් ළමුන් අතර සරම්ප රෝගය තුරන් කිරීම සඳහා වූ දැනුවත් කිරීමේ ව්‍යාපෘති මෙහෙයවීම සහ දායකත්වය ලබාදීම සිදු කළේය.

රෝල්ඩ් ඩාල්ගේ ජීවිතයේ බිරින්දෑවරුන් දෙදෙනෙකි. පළමුවන බිරිඳ වූයේ යූරා පෙට්‍රේ හා විලියම් වර්ඩෙට්ටාගේ දියණිය වූ පැට්‍රීෂියා නීල් නම් හොලිවුඩ් නිළියක් සමඟය. ඇයට හා රෝල්ඩ් ඩාල්ට දරුවන් පස් දෙනෙකු විය. ඔලීවියා, ටෙසා, තියෝ, ඔලීෆියා සහ ලුසී ඔවුන් දෙදෙනාගේ දරුවන් පස්දෙනා විය. රෝල්ඩ්ගේ හා පැට්‍රීෂියාගේ අවුරුදු තිහක විවාහ ජීවිතය අවසන් වූයේ 1983දී දික්කසාදයකිනි. එයට හේතුව වූයේ පැට්‍රීෂියාගේ ළඟම මිතුරියක් වන ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වන දික්කසාද වූ ගැහැණියක් වන ෆෙලිසිටි හා රෝල්ඩ්ට විවාහවීමට අවශ්‍ය වූ හෙයිනි. දික්කසාදයෙන් පසු රෝල්ඩ්, ෆෙලිසිටි විවාහ කරගත් නමුත් ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය වසර හතකට සීමා විය. එයට හේතුව වූයේ 1990 වර්ෂයේ නොවැම්බර් මස විසිතුන් වෙනිදා රෝල්ඩ් ඩාල් මෙලොව සදහටම හැරයාම හේතුවෙනි.

රෝල්ඩ් ඩාල් මෙලොවින් සමුගෙන ගියේ ඔහු නිර්මාණය කළ කෘති බොහෝ ප්‍රමාණයක් අප අතරේ තබාය. අදටද රෝල් ඩාල්ගේ කෘතියක් කියවා නොමැති පාඨකයෙකු නොමැති තරම් ය. එතරම්ම ඔහු නිර්මාණය කළ දෑ රසවත් ය. අමරණීයය. කුඩා දරුවන් පමණක් නොව, වැඩිහිටි අපද එම කෘතීන්ට අදටද ඇල්මක් දක්වයි. අපට සහ අපේ දරුවන්ට මෙසේ රසවත් කෘති නිර්මාණය කළ ඒ අමරණීය චරිතය වන රෝල්ඩ් ඩාල් නම් මිනිසා පිලිබඳ තොරතුරු ස්වල්පයක් ඔබ හමුවට ගෙන ඒමට ආ සිතුවිල්ල හමුවේ මෙම අකුරු හරඹය නිමවීය.

රෝල්ඩ් ඩාල් නිර්මාණය කළ සිංහල භාෂාවට පරිවර්තනය වූ පොත් කිහිපයක් පහතින් දැක්වේ.
(මුලින් සඳහන් වන නම මුල් කෘතියේ නම වන අතර එයට ඉදිරියෙන් සඳහන් වන නම සිංහලට පරිවර්තනය වූ කෘතියේ නමයි.)

  1. James and The Giant Peach – අරුම පුදුම පීච් ගෙඩිය
  2. The Twits – පිස්සු ගෙදර ඇත්තෝ
  3. Fantastic Mr. Fox – නරිහාමිගේ අපූරු වැඩ
  4. The Witches – මායාකාරියෝ
  5. George’s Marvellous Medicine – ජෝර්ජ්ගේ අරුම පුදුම බෙහෙත් වඩිය
  6. The BFG – මමියෝ
  7. The Enormous Crocodile – යෝධ කිඹුල් පතයා
  8. Danny The Champion of The World – සූර වීර ඩැනී
  9. The Giraffe and The Pelly and Me – ජිරාෆුයි පෙලීයි මායි
  10. Billy and The Minpins – බිලී සහ මින්පින්ස්
  11. Boy – පොඩ්ඩා
  12. Esio Trot – ඉබ්බෙකුගේ කතාව
  13. The Magic Finger – පුංචි මැජික්කාරී
  14. Charlie and The Great Glass Elevator – චාලි සහ අරුම පුදුම විදුලි සෝපානය
  15. Charlie and The Chocolate Factory – චාර්ලි සහ අරුම පුදුම චොක්ලට් කම්හල
  16. Matilda – මැටිල්ඩා
  17. My Year – මගේ අවුරුද්ද (මෙය රෝල්ඩ් ඩාල්ගේ දිනපොත ආශ්‍රයෙන් ප්‍රකාශයට පත් කළ කෘතියකි.)

රෝල්ඩ් ඩාල් කෘති සිංහලට පරිවර්තනය කොට ශ්‍රී ලංකාව තුළ දැනට ප්‍රකාශයට පත් කරන්නේ සමයවර්ධන ප්‍රකාශකයන් විසිනි.

රසවත් මෙන්ම අපූරු ලොවකට අප ගෙනයන රෝල්ඩ් ඩාල් විසින් රචිත කෘති ලොකු කුඩා කාටත් රසවිඳිය හැකි කෘතීන් වේ.

රෝල්ඩ් ඩාල්ගේ සොහොන
රෝල්ඩ් ඩාල් පොත් වලට සමරු අත්සන් ලබාදෙමින් 1988, ඔක්තෝම්බර් නෙදර්ලන්තයේදී
රෝල්ඩ් ඩාල් සමග අනතුරට පත්වූ ග්ලැඩියේර් යානය
රෝල්ඩ් ඩාල් ඉගෙනුම ලැබූ ඩර්බිෂයර්හී රෙප්ටන් විද්‍යාලය

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Authors