පරිවර්තනය හා සෝදුපත් පරීක්ෂාව (තිරය පිටුපස)

පරිවර්තනය හා සෝදුපත් පරීක්ෂාව (තිරය පිටුපස)

2.6
(7)

👉 පරිවර්තනය හා අනුවාදය

වෙනත් භාෂාවක සාහිත්‍ය නිර්මාණයක් තවත් භාෂාවකින් කියැවීමට ලැබෙනකොට ඒ පිළිබඳව කතා කරනකොට; බොහෝ අය දන්නවා ඒක කොටස් දෙකකට බෙදෙන බව.

  1. පරිවර්තනය.
  2. අනුවර්තනය/අනුවාදය.

මෙන්න මේ රටා දෙකට තියෙනවා ප්‍රධාන රීති කීපයක්.

(භාෂාව හා ව්‍යාකරණ සම්බන්ධයෙන් සමහරුන් ‘නීති’ ඔළුවෙ තියාගෙන හිටියට, නිතර වෙනස් වෙන ගති ලක්ෂණ උරුම ‘භාෂාවට’ තියෙන්නෙ නීති නෙවේ, රීති)

පරිවර්තනයකදි, අදාළ මුල් කෘතියේ කිසිම අංගයක් පරිවර්තිත භාෂාවෙන් යටපත් නොවිය යුතුයි කියන රීතිය තියෙනවා. ඒ කියන්නේ; මුල් කෘතියේ සිද්ධි මූලික ස්ථාන, පුද්ගල චරිත, සිද්ධි හෝ කිසිවක් පරිවර්තකයාට වෙනස් කිරීමට නොහැකියි. වෙනස් කරන්න පුළුවන් එකම අංගය භාෂාව හා යෙදීම් විතරයි.

නමුත් අනුවාදය (නැත්නම් සමහරුන්ට අනුව නම්, අනුවර්තනය) තුළදී අනුවාදකයා නිදහස්. අනුවාදයේදී මුල් කෘතියෙන් ප්‍රධාන වශයෙන් උපුටා ගැනෙන්නේ සිද්ධි මූලය විතරයි. සිද්ධි මූලික ස්ථාන, පුද්ගල නාම විතරක් නෙවේ, ඇතැම් අනුවාදවලදී සිද්ධීන් පවා යම් වෙනස් කිරීම්වලට ලක්වෙලා තියෙනව දකින්න පුළුවන්.


👉 අනුවාදය යල් පැනීම.

මම මේ කියන්න යන්නේ ඉතාම සියුම් දෙයක්. සියුම්ව අධ්‍යයනය කළොත් දැනේවි. 90 දශකය කියන්නේ e යුගයේ ආරම්භය. ඒ වෙනකොට අන්තර්ජාලය දැඩි ලෙස මිනිස්සු අතරට එන්න පටන් ගත්තා. ඊට කලින් බොහෝ විට එක රටක මිනිස්සු තවත් රටක්, තවත් සංස්කෘතියක් ගැන දැනගත්තේ මුද්‍රිත මාධ්‍යයෙන්. ඒ වගේ තත්වයක් යටතේදී අදාළ රටේ සංස්කෘතික අංග හා ආවේණික ලක්ෂණ 100%ක්ම පාඨකයාට දැනෙන්නේ නෑ.

උදාහරණයකට, රතු සාහිත්‍යයේ නිතරම දකින්න ලැබෙන සමොවාරය, රසායනික තැම්බීමට ලක්වෙන සාම්ප්‍රදායික ගෝවා සලාදයේ සුවඳ හා රසය 100%ක්ම නිවැරදිව පාඨකයාට මවා ගැනීමේ හැකියාවක් නැහැ. අන්න ඒ අවශ්‍යතාවය මත සමොවාරය වෙනුවට බොයිලේරුව, ගෝවා සලාදය වෙනුවට ගෝවා අච්චාරුව ආදේශ වුණා. ඒ විදියටම අනුවාද තුළදි වසීලියෙවිච්ලා වසිලිලා වුණා. පෙත්‍රයොව්ස්කා – පතායෙව් වුණා. ග්‍රෙගොරි – ගිගොරි වුණා. ක්ලියෝපැට්‍රා – කලියෝපත්තරා වුණා. ඇන්තනී – අන්තෝනි වුණා. (මේ ඉතාම සරල මට්ටමේ උදාහරණයක් විතරක් බව සලකන්න) මිනිස්සුන්ට අනුවාදය කියන එක වඩා ගෝචර වුණා.

මේ විදියට ගිය අනුවාදය තවදුරටත් විකරණය වුණේ සම්පූර්ණයෙන්ම සංස්කෘති මාරුවක් විදියට. අවසානයේ සිද්ධිය විතරක් තියෙනකොට; රුසියාවෙ මොස්කව් නුවර වසීලියෙව්ට වුණ සිද්ධිය, ලංකාවෙ කොළඹ හිටපු ගිරිගෝරිස්ට සිද්ධ වුණ සිද්ධියක් විදියට ‘අනුවාදය’ වෙන්න ගත්තා.

90 දශකයෙන් පස්සෙ මිනිස්සුන්ට ලෝකය විවෘත වෙන්න ගත්තා. මිනිස්සු පොතෙන් මවාගත්ත රුසියාව, ට්‍රාන්සිල්වේනියාව, ඇමරිකාව වීඩියෝවලින් දැක්කා. ගෝවා අච්චාරු, සෂිමි, සුෂි, කැවියාර්, ටිකිලා වගේ කෑම බීම හදන විදිය පවා දැක්කා. සැමන් මාළු අල්ලලා ටින් කරන විදිය එහෙම මනසින් නෙවේ, ඇස්වලින් දැක්කා… කලින් පොත්වල දැකපු පාහරයා, අවලම් බැල්ලි, හොම්බට ගහනවා වගේ යෙදුම්වල නියම යෙදීම motherfucker, bitch, kick your ass කියලා දැනගත්තා. අන්න එතනදී අනුවාදයේ බල බිඳිලා ‘පරිවර්තනය’ මිනිස්සු අතරට එන්න ගත්තා…

ටික කාලෙකට කලින් අනුවාදයේදී කාමරයට වැදිලා දොර වහගත්තු ක්‍රිපන් මහතා හා ක්‍රිපන් මහත්මිය ගාවින් නතර වුණ සිද්ධිය; අද වෙනකොට පරිවර්තනය තුළදි නික් ක්‍රිපන්, ජෙනී ක්‍රිපන්ව නිරුවත් කරලා තොල් සිපගෙන පියයුරු මිරිකලා… 😁😁 එතනින් එහා යනකමුත් ලියැවෙනවා… මේ මම මගේ අධ්‍යයනයන් තුළදී දැකපු දේවල්.


👉 20 වන සියවසේ පරිවර්තනය.

අද වෙනකොට, පරිවර්තනය ලොකු වෙනසකට පත් වෙලා, වෙනස් වෙනස් මානයන් ස්පර්ශ කරමින් තියෙන්නේ…

  • සිංහල භාෂාවේ ලේඛනය තුළ සාමාන්‍යයෙන් නොයෙදුණු ‍යෙදීම් පරිවර්තන තුළ දකින්නට ලැබීම (අසභ්‍ය වදන්, ලිංගිකත්වය ඇඟවෙන දෑ බොහොම නිදහසකින් යුක්තව)
  • විරාම ලක්ෂණවලින් නිදහස් වුණ භාෂා රටාවන් (දෙබස් යෙදීමේදී සාම්ප්‍රදායිකව යෙදුණු පෙරළි කොමා භාවිතය ඉවතට යාම, සිතුවිල්ලක් උපුටා දැක්වීමේදී යෙදුණු තනි උඩු කොමාව වෙනුවට ඇල [italic] අකුරින් යෙදීම)
  • පොතේ ඇතුළාන්තය විචිත්‍රකරණය වීම (සාමාන්‍ය ෆොන්ට් සයිස්වලින් යුතු අකුරු අතර කෑගැසීම්, විලාප දීම්, උච්ච ස්වරයන් ආදිය වඩා විශාල ෆොන්ට් සයිස්වලින් යෙදීම වගේම ඇතැම් විට ක්‍රමයෙන් තීව්‍ර වන හඬවල් ක්‍රමයෙන් විශාල වන ෆොන්ට්ස් වලින් දැක්වීම)
  • පරිවර්තනය තුළ ප්‍රස්තුතයට ආවේණික රූප, ක්ලිප් ආර්ට්ස් හා ක්ෂුද්‍ර චිත්‍රවලින් මාතෘකාව, ඡේද කැඩීම හෝ සිද්ධි වෙන් කිරීම් කර තිබීම
  • පොතේ පිටු ප්‍රමාණය, අපතේ යන ඉඩ ප්‍රමාණය ආදිය පිළිබඳ නොසිතා අදාළ මුල් පිටපතේ ලෙසටම පිටු සැකසුම් කර තිබීම…
  • නිහඬතාවය, ශබ්දයක් නොනැඟෙන පරිසරය ආදිය අකුරෙන් නොදක්වා හිස් පිටු, තිත් පේළි ආදියෙන් නිරූපනය කිරීම වැනි මුල් කෘතියේම උපක්‍රම පරිවර්තනය තුළත් යෙදීම…

මේ හැමදේකින්ම වෙලා තියෙන්නේ පරිවර්තනය මුල් කෘතිය තරමටම පාඨකයාට සමීප කරවීම. අද පරිවර්තනය ඉතාම පුළුල් පරාසයකට විහිදිලා තියෙන්නේ. බොහෝ විට මුල් කාලයේ පරිවර්තනයක් සිංහල පාඨකයා අතට ආවේ මුල් කෘතිය ප්‍රකාශනය වෙලා අවුරුදු ගණනාවකට පස්සේ… නමුත්, අද වෙනකොට මුල් කෘතිය මුද්‍රණද්වාරයෙන් පිටවෙලා දවස් කීපයකින් සිංහල කෘතියත් දොරට වැඩීමට හැකිවීම දක්වාම පරිවර්තනය දියුණුයි. මුල් කෘතිය හා පරිවර්තනය කෘතිය එකම දවසක දොරට වඩින දවස අතේ දුරිනුයි තියෙන්නේ.


👉 ලොව පිළිගත් ‘පරිවර්තනයේ සම්මතයන්’.

මුලින්ම මෙන්න මේක තේරුම් ගන්න ඕනෙ සාහිත්‍යය ගැන කතා කරනකොට…

සාමාන්‍යයෙන් විද්‍යාව, ගණිතය වගේ තර්ක මූලික අංග තුළ දකින්න ලැබෙන ‘න්‍යාය’ හෝ ‘මූලධර්ම’ සාහිත්‍යය තුළ දකින්න නෑ. හේතුව, සාහිත්‍යය කියන්නේ භාවයන් / සිතුවිලි / රස වින්දනය මුල් කරගත්ත ‘පුද්ගල භාවමූලික’ (පුද්ගලයාගේ හැඟීම් මුල් කරගත්) අංගයක් වීම. ආන්න ඒ නිසාම බොහෝ සාහිත්‍ය අංග තුළ ‘නියමයන්’ හෝ ‘නිශ්චිත රාමුවක්’ හෝ ‘නීති පද්ධතියක්’ නෑ. තියෙන්නේ පිළිගත් ‘සම්මතයන්’, ‘භාවිතය මත වෙනස් වෙනසුලු රාමුවක්’ හෝ ‘රීතීන්’ පමණයි.

මේ දේවල් පරිවර්තනවලටත් පොදුයි… 100%ක්ම නොවුණත්, ඔබේ දැනගැනීම හා මේ ලිපියේ ගලායාම පිණිස මම දක්වන්නම් පොදුවේ ජාත්‍යන්තරව පිළිගත්ත පරිවර්තනයේ සම්මත කීපයක්…

  • භාෂාව හා අර්ථ වටහාගැනීම් හැර මුල් කෘතියේ කිසිම දැයක් පරිවර්තනය තුළ වෙනස් නොවීම ( හැබැයි අවශ්‍ය තැන්වල වෙනස් කරන්න පුළුවන්. ඒක මෙහෙම තේරුම් ගන්නකො. ඉංග්‍රීසියේදි, fuck you කියන වචනය සාමාන්‍ය අපහාසාත්මක වචනයක් වුණාට සිංහලයේදි ඒකට දෙන්න පුළුවන් අර්ථය ‘උඹ හු&ගනින්’ කියන එක. ඒ වගේ යෙදුමක් පොතකින් දකින්න තරමට අපේ බහුතරයක් පාඨකයින් සූදානම් නෑ. අනෙක, යම් යම් සංස්කෘතිකමය හා සමාජමය වාරණ තියෙනවා. ඒ වගේමයි once in a blue moon කියන ඉංග්‍රීසි යෙදුම භාවිතයේදී ‘ඉතාම කලාතුරකින්’ කියන අර්ථයෙන් ගන්නේ. නමුත් සිංහල පරිවර්තනය තුළ ඒක ‘නිල් හඳ පායන දවසක’ කියල ගත්තට පාඨකයාට තේරුම් ගැනීමේ හැකියාව අඩුයි. ඒ නිසා ඒ වගේ ඇතැම් යෙදුම් වෙනස් කරන්න හැකියාව තියෙනවා පරිවර්තනය තුළ)
  • මුල් කෘතියේ නම පැහැදිලිව පෙනෙන සේ දැක්වීම (මුල් කෘතියේ නම දක්වන එකෙන් කාර්යයන් කීපයක්ම වෙනවා. ඇතැම් වෙලාවට පරිවර්තනයේ නම මුල් කෘතියේ නමම නොවෙන්න පුළුවන්. එතකොට ඒ මුල්කෘතිය අඳුනගන්න වැදගත් වෙන්න පුළුවන්. ප්‍රසිද්ධ උදාහරණයක් විදියට චින්ගීස් ආයිත්මාතොව් මහත්මයාගෙ ‘ගුරුගීතය’ පොත ගන්න පුළුවන්. ඇත්තටම ගුරුගීතය කියන්නේ පරිවර්තනයට යෙදුණු නම. පොතේ ඇත්තම නම The first teacher. අනෙක, එහෙම මුල්කෘතියේ නම දක්වන එක කර්තෘ අයිතිය, කර්තෘ ගෞරවය දීමක් වගේ… හැබැයි සමහර පරිවර්තනවල මුල් කෘතියේ නම දකින්න නෑ. ඒව නම් හොඳයි කියලා කියන්න පුළුවන් දේවල් නෙවෙයි.)
  • මුල් කෘතියේ ලේඛකයාගේ නම විශාලව හෝ විශේෂයෙන් පෙනෙන සේ දැක්වීම
    (මේ දේ කරන එක පොතේ විකිණීමටත් හොඳයි, පාඨකයා දැනුවත් වීමටත් හොඳයි. ඒ හැමදේටම වඩා සදාචාරාත්මකයි. බොහෝ ප්‍රකාශක සමාගම් මේ දෙය කළත්, ඇතැම් අය නම් එහෙම කරන්නෙ නෑ. එක අතකින් ඒක බුද්ධිමය දේපළ හොරකම් කිරීමක් වගේත් එක්ක…)
  • පරිවර්තකයාගේ අනුභූතීන් හෝ අත්දැකීම් හෝ මුල්කෘතියේ යම් කොටසකට අලුතින් එකතු කළ යුතු කොටසක් හෝ තියෙනවා නම් ඒ කොටස විශේෂ කරලා, උද්ධෘත කරලා, වෙනම දැක්වීම
  • මුල්කෘතියට සම්බන්ධ සංස්කෘතිය හෝ ප්‍රදේශය හෝ පුද්ගලයින්ට සම්බන්ධ ඇතැම් අප්‍රසිද්ධ හෝ ව්‍යාප්ත නොවුණ යම් කරුණක් (ජනප්‍රවාදයක්, ඉතිහාස කතාවක්, මුල්කෘතියට සම්බන්ධ වෙනත් කෘතියක් වගේ) තියෙනවා නම් පරිවර්තනය කියවන පාඨකයා වෙනුවෙන් ඒ කරුණු foot note මත හෝ වෙනමම දැක්වීම
  • මුල්කෘතිය තුළ ලේඛකයා දක්වා ඇති හැඳින්වීම්, පෙරවදන හෝ සඥාපන වැනි දේවල්වල සාහිත්‍යමය හෝ පරිවර්තනය කියවන පාඨකයාට වටිනා විශේෂ දේවල් තිබේ නම් ඒවාද පරිවර්තනයට එකතු කිරීම
  • යම් හේතුවක් (සංස්කෘතිකමය හා සමාජමය වාරණ, සදාචාරමය සීමාවන්, රට තුළ ආරක්ෂාව ආදි) නිසාවෙන් මුල්කෘතියේ යම් කොටසක් (මත්ද්‍රව්‍ය භාවිත කරන ආකාරය, මිනිස් සෞඛ්‍යයට අහිතකර යම් දෑ නිපදවන ආකාරය, ඇතැම් සාපරාධී අපරාධ කරන ආකාරය ආදි) පරිවර්තනයෙන් ඉවත් කරනවා නම් ඒ බව පරිවර්තනය තුළ හැඳින්වීම, සඥාපනය ආදියෙන් පාඨකයා දැනුවත් කිරීම

👉 පරිවර්තනය හා සෝදුපත් පරීක්ෂාව.

පරිවර්තන කියවන අපේ පාඨකයින්ට වැඩිපුරම එන ගැටලු කීපයක් තියෙනවා. මේන්න මේක නිසා සෝදුපත් පරීක්ෂාවත් එතනට ඇදිලා එනවා. ඒ ගැටලු කීපය මෙන්න මේවා…

  1. මුල්කෘතියේ අර්ථයට හානි සිදුවෙන විදියට පරිවර්තනය පරස්පරව සිදු වෙලා තිබීම (google translation භාවිත කරල තියෙනව කියල එහෙම චෝදනා එල්ල වෙන්නෙ)
  2. මුල්කෘතියේ ඇතැම් දෑ වෙනස් කර ඇති බව පරිවර්තනය හා මුල්කෘතිය සන්සන්දනයේදී හෙළිවීම
  3. මුල්කෘතියට වඩා වැඩිපුර අතිශයෝක්තියකින් පරිවර්තනය සිදුවෙලා ඇති බව
  4. පරිවර්තන ඕනෑවට වඩා උලුප්පා දක්වමින් ප්‍රාචරණ කටයුතු කළත් ඒවායේ ගුණාත්මය හීනයැයි පැවසීම
  5. අතිශයෝක්තියකින් පරිවර්තන ප්‍රචාරණය කිරීම නිසා පාඨකයින් රැවටෙන බව
  6. පරිවර්තනය සෝදුපත් පරීක්ෂා නොකරනවද කියන එක හා, සෝදුපත් පරීක්ෂාව වෙන්නේ මුල්කෘතිය සමඟමද කියන එක

ඇත්තටම මම පරිවර්තකයෙක් නොවෙන නිසා මම මේ ගැන අදහසක් දෙන්න ඕනෙ පරිස්සමින්.

අපි ඇත්ත කතා කළොත්, “සමහර තැන්වලදි” ඉහළින් දක්වලා තියෙන චෝදනාවලින් මුල් තුන (සමහර තැන්වලදි, සමහර වෙලාවට) ඇත්ත කියල පිළිගන්න වෙනවා ප්‍රකාශකයින්ට හා පරිවර්තකයින්ට.

නමුත් තුන් වෙනි හා හතර වෙනි චෝදනා දෙක එහෙම පිටින්ම අභූත චෝදනා. පරිවර්තනයක් විකිණීම හා වෙළෙඳපොළ තීරණය කරන්නෙ පාඨකයාමයි. අතිශයෝක්තියකින් නෙවේ, පොළොවෙ පස් කාලා ප්‍රචාරණය කරන්න හැදුවත් පාඨකයා බාරගන්නවා නම් තමයි පොත විකිණෙන්නේ…

බිස්කට්, සිසිල් බීම, චොක්ලට්, නූඩ්ල්ස්, තේ කොළ ප්‍රචාරණ දැන්වීම් බලන්නකො… ඒවගෙ තියෙන අතිශයෝක්තිය කොහේවත් නෑ. මිනිස්සු ඒවට රැවටෙන්න පුළුවන්. නමුත් පොත් ඊට වඩා වෙනස්. මනුස්සයෙක් පොතක් ගන්නෙ ටිකක් කියවලා බලල, හොයල බලල. පරිවර්තනයක් නම් මුල්කෘතිය ගැන යම් හෝ අදහසක් ඇතිව… එහෙමකොට පාඨකයෝ ප්‍රචාරණවල අතිශයෝක්තියට රැවටෙනවා කියන්නේ ඒ මිනිස්සු පොත් කියවන අය නම් වෙන්න බෑ කියන එකයි මගෙ අදහස.

ඊළඟට හය වෙනි ගැටලුව. පරිවර්තනයක සෝදුපත් පරීක්ෂා කිරීම බොහොම සියුම් කාරණයක්… හරියට බලනවා නම්, පරිවර්තනයක සෝදුපත් පරීක්ෂාව හා සංස්කරණය කියන දෙකම වෙන්න ඕනෑ. සංස්කරණය යටතේදී තමයි මුල්කෘතිය හා පරිවර්තනය සන්සන්දනය වෙන්නේ. සෝදුපත් පරීක්ෂාවට ලක්වෙන්නේ පරිවර්තනය.

නමුත් මේ දෙක මෙහෙමම වෙන්නෙ නම් නැතිම තරම්. (මම අවංකවම දන්නෙ නෑ මෙහෙම කවුරු හරි කරනවද කියලා නම්.) කාරණා 2ක් නිසයි එහෙම නොවෙන්නෙ.

  1. කාලය
  2. මුදල

සංස්කරණය හා සෝදුපතක් පරීක්ෂාව කියන දේ නිකම් බල්ලො බනිස් කනව වගේ කරන්න පුළුවන් දෙයක් නොවෙන බව මම ලිපි කීපයකම පෙන්නල දුන්නා. ඒකට යනවා යම් කාලයක්. සාමාන්‍යයෙන් පිටු 350ක පොතක් සෝදුපත් පරීක්ෂා කරන්න මට නම් (අනෙක් සෝදුපත් පරීක්ෂකවරුන්ට නම් මම දන්නෙ නෑ හරියටම) අවම දින පහක්වත් යනවා. සංස්කරණය කරනව නම් ඒ කාලය වගේම යනවා. දෙකම එකට කරනවා නම් සාමාන්‍යයෙන් දින දහයක්, සති දෙකක්වත් අවමව යනවා (අත්පිටපතේ ස්වභාවය, ඇතුළත් කරුණු වගේ දේවල් මත මේ දින ගණන් වෙනස් වෙන්න පුළුවන්) ඉතින්, ප්‍රකාශකයාට හා පරිවර්තකයාට ඒ දින ගණන දෙන්නට බොහෝ වෙලාවට හැකියාවක් නෑ… ඒ නිසා බොහෝ විට වෙන්නේ පරිවතනයේ සෝදුපත් පරීක්ෂාව විතරයි

මේ කාරණයත් යම් තරමක් විවාදයට බරයි. ඒ නිසා මම මේක බොහෝම පරිස්සමෙන් කියන්නේ. ලංකාවේ ඇතැම් වෘත්තීය මට්ටමේත් නොවෙන සෝදුපත් පරීක්ෂකවරියෝ ඉන්නවා, A5 පිටු 300ක වගේ පොතක් සෝදුපත් පරීක්ෂා කිරීම වෙනුවෙන් රුපියල් 10’000ක් අය කරන. ඒ ගාණ ක්ෂේත්‍රය තුළ අය කෙරෙන මුදල වගේ දෙගුණයකටත් වැඩියි. (ඒ වගේම තවත් අය ඉන්නවා එක නවකතා පොතක් වෙනුවෙන් රුපියල් 30’000ක් අය කරපු. මට සාක්ෂි ඇතිව මේ කාරණා ඔප්පු කරන්න පුළුවන්)

ඇත්තටම බොහෝ වෙලාවට (සමහරුන්) මේ සෝදුපත් පරීක්ෂාවට සාධාරණ අයකිරීමක් නොවෙන නිසාම බොහෝ උදවිය සෝදුපත් පරීක්ෂාව නොකරන තත්වයකට ඇවිල්ල ඉන්නෙ. බොහෝවිට නවකයෝ හා කර්තෘ ප්‍රකාශන කරන ලේඛකයෝ මේ ඉහළ ගණන් ඇහුවම සෝදුපත් පරීක්ෂාව ගැන ඇති කරගන්නෙ අපැහැදීමක්… මේ ළඟදි එක මහත්මයෙක් කියලා තිබ්බා සෝදුපත් පරීක්ෂකවරයා කියන්නේ ප්‍රකාශකයා විසින් “කුලියට ගනු ලැබූ මැෂිමක්” වගේය කියලා. සමහර විට පාඨකයින් අතර මේ වගේ අදහස් එන්න මේ වගේ අසාධාරණ අයකිරීම් කරලාත් නිවැරදිව සෝදුපත් පරීක්ෂාව සිදු නොවීම හේතු වෙන්න ඇති.

ප්‍රකාශන සමාගම්වල නම් “බොහෝවිට” සෝදුපත් පරීක්ෂාව කෙරෙනවා. සංස්කරණය කරනවා නම් ඒ වෙනුවෙන් සෝදුපත් පරීක්ෂකවරයාට වෙනමම මුදලක් අයකරන්න වෙනවා. මුල්කෘතියක් එක්ක පරිවර්තනය සන්සන්දනය කරනවා කියන්නෙ වෙනමම කාර්යයක්. මේකෙදිත් සමහරු අය කරන්නෙ අමානුෂික මුදලක්. ඉතින්, පොතක් වෙනුවෙන් සංස්කරණය හා සෝදුපත් පරීක්ෂාව වෙනුවෙන් ඉහළ මුදලක් දරන්න වෙන එකෙන් වෙන්නෙ පොතේ මිල ඉහළ යාම.

👉 අතුරු කතාවක්.

මෙන්න මේ පොතක මිල ගැන කියනකොට කියන්නම ඕනෙ කාරණයක් තියෙනවා. මේ ළඟදි එක පාඨකයෙක් කියලා තිබ්බා අපූරු කතාවක්…

“ප්‍රකාශකයා කර්තෘ භාගය වෙනුවෙන් 10%ක මුදලක් දීලා ඉතිරි 90%ම යටිමඩි ගහගන්නව”

මට නම් ඒකට හිනා ගියේ නෑ. අපේ පාඨකයින්ගේ නොදැනුවත්කම හා සබුද්ධිකබව ගැන පුදුම දුකක් දැනුනේ.

පොතකට යන කඩදාසි, පිටකවරය, මුද්‍රණ වියදම, ප්‍රචාරණ වියදම, කර්තෘ භාගය, ප්‍රවාහන වියදම්, සෝදුපත් පරීක්ෂාවට යන වියදම (පිටින් කරනවා නම් ඒ ගාණ, ප්‍රකාශන සමාගමේ සෝදුපත් පරීක්ෂකවරයා ඉන්නව නම් ඔහුගේ වැටුප) විතරක් නෙවේ, තමන්ගේ පොත වෙනත් බුක්ෂොප් එකකට දානකොට 40%ක වට්ටමක් දෙන්නත් ඕනෙ… එතකොට කොහෙද 90%ක් තියෙන්නේ…?

සිංදු වේවා, කවි වේවා, නිසඳැස් වේවා, නවකතා වේවා, කෙටිකතා වේවා, පරිවර්තන වේවා, මොනවා හෝ වේවා; සාහිත්‍යය නිර්මාණයක් රස විඳිනකොට ඒකෙන් ප්‍රධාන කාර්යයන් දෙකක් වෙනවා කියල සඳහන් වෙනවා. රස වින්දනය හා ජීවන දෘෂ්ටිය දියුණු කිරීම / ජීවන දෘෂ්ටිය බහුශ්‍රැත කිරීම / ජීවන දෘෂ්ටිය සෞම්‍ය කිරීම. නිර්මාණය නිසා කියවන්නාගේ හදවත ගුණධර්මවලින් පොහොසත් වෙනවා. ජීවන අත්දැකීම් හම්බෙනව. නිර්මාණකරුවා හා කියවන්නා අතරත්, කියවන්නා හා සමාජය අතරත් (නිර්මාණය නිසා) අන්‍යෝන්‍ය අවබෝධයක් / සමාන දැනීමක් / සමාන – හෘදයක් නැත්නම් “සහෘද” බවක් ඇති වෙනවා.

මේක කිව්වට තරහා වෙන්න එපා… අපේ රටේ “බොහෝ පාඨකයෝ” (හැමෝම නම් නෙවේ) කියවන්නෙ පෞද්ගලික රස වින්දනය සඳහා විතරයි. තමන්ගේ ජීවන දෘෂ්ටිය දියුණු කරගන්න හෝ ජීවන දෘෂ්ටිය සෞම්‍ය කරගන්න පාවිච්චි කරන්නෙ නෑ. ඒකයි අපේ කියවන්නෝ “සහෘදයෝ” නොවී “පාඨකයෝ” විතරක් වෙන්නේ.


මේ කිව්වේ, පරිවර්තනය සම්බන්ධයෙන් වගේම පරිවර්තනය හා සෝදුපත් පරීක්ෂාව සම්බන්ධයෙන් මම දකින, මට අවබෝධ වෙන පැත්ත. මධ්‍යස්ථව හිතල කියවලා බලන්න. සමහර තැන්වල මම වැරදියි කියලා දැක්කොත් මාවත් නිවැරදි කරන්න. ස්තූතියි.

✍️ ලීවේ: චන්දික මධුෂාන් අබේවික්‍රම.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Publishing