සාමාන්‍යයෙන් දැනට වසර දහයකට කලින් නම් “පොතක් ප්‍රකාශනයට පත් කරනවා” කියල කියන්නෙ බොහෝම භාරදූර කාර්‍යයක්. නමුත්, දැන් නම් ඒක එහෙම නෑ. දැන් පොතක් ලියනවා හා ප්‍රකාශනයට පත් කරනවා කියන එක බොහෝම සරල කාර්යයක්. ඒ වගේමයි, ඉතාම වැඩි පිරිසක් මේ පොතක් ලිවීමේ හා ප්‍රකාශනයට පත් කරගැනීමේ කාර්යයට ඉදිරිපත් වෙලා ඉන්නවා.
- මිනිසුන් දැනුම සෙවීමට වඩ වඩාත් ගිජු වීම හා උනන්දු වීම.
- ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් තාක්ෂණයේ දියුණුව.
- මිනිසුන්ගේ දැනුම ගලා යාම ප්‍රවර්ධනය වීම හා දැනුම එක්රැස් වීම හොඳින් සිදුවීම.
- රජය හා පෞද්ගලික ආයතනවලින් යම් යම් ව්‍යාපෘති යටතේ පොත් ලිවීමේ සිතුවිල්ල වර්ධනය කරවීම හා අත්වැල් සැපයීම.
- “පොත” වැඩි කාලයක්, වැඩි ප්‍රමාණයක්, වැඩි මිනිසුන් ප්‍රමාණයක් අතර රැඳීම.
- ෆේස්බුක්, යූටියුබ් වැනි මාධ්‍යය හරහා පොත් කියවීම් අත්දැකීම්, පොත්වල අඩුපාඩු, හොඳ පොත්, නව ප්‍රකාශිත පොත්, කතුවරු පිළිබඳව වැනි දැනුවත් වීම් සිද්ධ වීම.
- ෆේස්බුක් සමාජ මාධ්‍යයේ යම් යම් සමූහ හරහා කෙටිකතා, නවකතා වැනි සාහිත්‍ය අංග වෙනුවෙන් පෙනී සිටීම නිසා ලියන්නන්ගේ සිදුවන උත්තේජනය හා දක්ෂයින්ට මුද්‍රිත මාධ්‍යයට යාමට මඟ පෑදීම.
- නොදන්නා ඕනෑම කරුණක් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර (google වැනි)වලින් සෙවීමට ඇති හැකියාව.
ඔන්න ඔය වගේ කාරණා බොහෝමයක් නිසා අද අංකුර ලේඛකයෝ බොහෝමයක් ඉපදෙනවා. මෙන්න මේ දේ ඉතාම යහපත් දෙයක්. හරිම වැදගත් දෙයක්. මොකද, පොතක් ලියනවා කියන එක සරල කාර්යයක් නෙවේ. ඒ වගේම පොතකින් පිඬු ගැන්වෙන, ගොනු වෙන දැනුමත් සුළුපටු නෑ.
කොහොම නමුත්, පොතක් මුද්‍රණය කෙරෙනකොට සිද්ධ වෙන මූලිකම කාර්යයන් අතරින් එකක් තමයි සෝදුපත් පරීක්ෂාව (සහ ඇතැම් විට සංස්කරණය) කියන දේ. මෙන්න මේක කරනකොට, අපි අත්පිටපතක් සෝදුපත් පරීක්ෂකවරයාට දෙන්න ඕනෙ.
මොකක්ද මේ “අත්පිටපතක්” කියන්නෙ සහ කොහොමද අත්පිටපතක් නිවැරදි විදියට සෝදුපත් පරීක්ෂකවරයාට දෙන්නෙ?
“විද්‍යුත් ක්‍රමයකට (typing) හෝ යාන්ත්‍රික ක්‍රමයකට (යතුරු ලියනය – type writing) හෝ අතින් (hand writing) සකසන ලද මූල ලිපිය/ලේඛනය අත්පිටපතක් වේ”
සෝදුපත් පරීක්ෂකවරයෙකුට පරීක්ෂා කරන්න අත්පිටපතක් යවනකොට මෙන්න මේ කරුණු ගැන අවධානය යොමු කරන්න ඕනෙ.
01. සෝදුපතේ නිමාව.
මේක ඉතාම වැදගත් කාරණයක්. මොකද, සෝදුපතක් පරීක්ෂා කරන එකේ අර්ථය තමයි පොත මුද්‍රණයට අවසාන වශයෙන් සූදානම් කරවීම. ඒ වගේම සෝදුපත් පරීක්ෂකවරයාට අත්පිටපත යොමු වෙනකොට ඒ අත්පිටපත සර්ව සම්පූර්ණ වෙන එකෙන් වැඩි වාසිය ලැබෙන්නෙත් පොතේ අයිතිකාරයාටමයි.
සමහරු අත්පිටපතක් සෝදුපත් පරීක්ෂාවට එවනකොට එවන්නේ නිකම්ම A4 කඩදාසියක මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය යටතේ සකස් කරගෙන, නිකම්ම මුද්‍රණය කරලා විතරයි. තවත් සමහරු, ‘යුනිකෝඩ්’ (හෙළකුරු) යටතේ ටයිප් කළ ලේඛනය එහෙම පිටින්ම මුද්‍රණය කරවලා එවනවා. මෙන්න මේ දේ නිසා පාඩු වෙන්නෙ සෝදුපත් පරීක්ෂකවරයාට නෙවේ, තමන්ටමයි.
අත්පිටපතක් සෝදුපත් පරීක්ෂා කරන්න දෙනකොට,තමන් ප්‍රින්ට් කරන්න බලාපොරොත්තු වෙන පොතේ ප්‍රමාණය (A4 හෝ A5 හෝ ක්‍රවුන් හෝ) නියම විදියට සැලසුම් කරලා, නියම ෆොන්ට් රටාවට හා නියම ෆොන්ට් සයිස් එකට ටයිප් කරවලා, ISBN අංකය නිවැරදිව දාලා ISBN පිටුව හදලා, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය අනුමත කරපු පිටු සැකැස්ම අනුව හදලා, සියලුම දේවල් සම්පූර්ණ කරල දෙනව නම් තියෙන වාසිය මේකයි.
එතකොට පොතේ තියෙන සියලුම දේවල්, සියලුම වැරදි හා අඩුපාඩු සෝදුපත් පරීක්ෂකවරයා මාර්ගයෙන් බැලෙනවා. තමන් ගෙවන මුදලට උපරිම සේවාවක් ලබාගන්න පුළුවන් සම්පූර්ණ සෝදුපතක් එව්වම.
02. සෝදුපතේ ෆොන්ට්වල ප්‍රමාණය (font size).
ලංකාවෙ පිළිගත්ත සම්මතය අනුව කුඩාම ළමයින් වෙනුවෙන් නිර්මාණය වුණ පොතක සාමාන්‍යයෙන් FMAbaya (අභය) ෆොන්ට් එකෙන් සයිස් 14 – 15 ඉඳන් අවශ්‍යතාවය පරිදි වැඩි ප්‍රමාණවලට යෙදෙනවා. ඒ වගේමයි, වයස අවුරුදු 08 – 12 වගේ වයසක දරුවන්ට තියෙන පොත්වලට වඩාත්ම සුදුසුයි ෆොන්ට් සයිස් 14 – 13 වගේ ප්‍රමාණයන්.
එතනින් එහාට අනෙක් සියලුම කියවීම් පොත්වලට (නවකතා, කෙටිකතා ඇතුළු ඕනෑම පොතක්) සම්මත ෆොන්ට් සයිස් එක 12. සමහර විට 11. 5ත් යොදාගැනෙනවා.
සෝදුපත් පරීක්ෂකවරයාට අත්පිටපතක් දෙනකොට අදාළත්වය අනුව ඔය ෆොන්ට් සයිස්වලින් හදලා දෙන එක කාරණා දෙකක් නිසා වටිනවා. පළවෙනි එක, තමන්ගේ පොතට සුදුසු ෆොන්ට් සයිස් එක යෙදිල තියෙනව. දෙවෙනි කාරණය, සෝදුපත් පරීක්ෂා කිරීම පහසුයි. 11.5ටත් වඩා අඩු ෆොන්ට් සයිස් එකකින් සෝදුපත් පරීක්ෂා කිරීම ඇස්වලට බොහොම වෙහෙසක් ගේන කාර්යයක්. ඒ වගේම ඉතාම වේදනාකාරී හිස කැක්කුමක් එන්නේ නිසැකවමයි.
03. අදාළ ෆොනුරුව නැත්නම් ෆොන්ට් (font) එක.
සාමාන්‍යයෙන් ෆොන්ට් එකක ප්‍රධාන කාර්යය වෙන්නෙ ‘කියවීමට අපහසුවක් නොවෙන විදියට අකුරු යෙදීම.
මේ වෙනකොට බොහෝ අය දන්නෙ සහ සම්මතයක් වෙලා තියෙන්නෙ, අභය නැත්නම් FMAbaya කියන ෆොන්ට් එක කියවීමට ඉතාම පහසු හා ගැළපෙනම වගේම නිවැරදිව අකුරු යෙදීමෙනුත් හොඳම ෆොන්ට් එක බව. ඒක ඇත්තක්. පොතකට වඩාම සුදුසු වෙන්නෙ ඒ ෆොන්ට් එක. (නමුත් මේ වෙනකොට ඒකටත් වඩා දියුණු හා කියවීමේදී ඇස පීඩාවට පත් නොවෙන අක්ෂර රටා සහිත, අභය ෆොනුරුවටම සමාන ෆොනුරූ තියෙනවා)
නමුත්, කෙටිකතාවක හෝ පරිච්ඡේදයක මාතෘකාව යොදනකොට, පොත තුළ ලිපියක් හෝ විශේෂ උපුටා දැක්වීමක් කරනකොට එහෙම සුදුසු විදියට ෆොන්ට් මාරු කරන්න පුළුවන්. උදාහරණයකට, පොත මැදින් ලිපියක් වගේ උපුටා ගැනීමක් දානකොට හෝ කතාවට අවශ්‍ය ලිපියක් පෙන්වනකොට FMDerana (දෙරණ) ෆොන්ට් එක (හෝ ගංගානි, ඉමානි, සමන්ති, මලිති වගේ) යොදාගන්න පුළුවන්. නමුත් සැලකිලිමත් වෙන්න ඕනෙ, ෆොන්ට් එක අනුව සයිස් එක වෙනස්. දෙරණේ ෆොන්ට් සයිස් 12 කියන්නෙ තරමක් පොඩි ෆොන්ට් සයිස් එකක්.
04. ගැටපද හෝ විවරණ හෝ පාදක සටහන් (footnotes).
අත්පිටපත සකසනකොට ගොඩක් අය කරන වරදක් මේක.
සමහර පොත්වල, විශේෂයෙන්ම පරිවර්තනවල ඇතැම් පදවලට අර්ථය බොහෝ අය දන්නෙ නෑ. නැත්නම් විශේෂයෙන්ම ඒ පදය ගැන විස්තර කිරීමක් කරන්න ඕනෙ. අන්න ඒ වෙලාවට ඒ පදයට අංකයක් දාලා පිටුවේම යටින් දක්වනවා ඒ පදයේ අර්ථය හෝ විවරණය. සමහරු කරන්නේ අංක දාගෙන ගිහිල්ලා පොතේ අවසානයෙන්ම ගැටපද විවරණය තියන එක. (දෙකම හරි, නමුත් ගැටපදය තියෙන පිටුවේම යටින් ගැටපද විවරණය දක්වන එක කියවීමේදී පහසුවක් හා පාඨකයාට වෙහෙසක් නොදීමක්)
මෙන්න මේ ගැටපද විවරණයත් සමහර අය අත්පිටපතට ඇතුළු කරන්නෙ නෑ. පස්සෙ දාන්න හිතාගෙන ඉන්නවා. ඒකෙන් පාඩුව වෙන්නෙත් සෝදුපත් පරීක්ෂකවරයාට නෙවේ, තමන්ටමයි. බොහෝවිට මේ ගැටපදවල අංක යෙදීම් එහෙම වරදිනවා. අන්න ඒ නිසා ඒ ගැටපද පවා සම්පූර්ණ කරලා අත්පිටපත හදන එක වටිනවා.
05. පොතට අදාළ සැකසුම්.
සාමාන්‍යයෙන් පොතක පිටු සැකසුම් කරනකොට පොතේ මුළු පිටුවෙම අකුරු ටයිප් වෙන්නෙ නෑ. පොතේ පිටු බැඳෙන පැත්තෙන් පොඩ්ඩක් වැඩි ඉඩකුත්, අනෙක් පැති තුනෙන් යම් තරමක් ඉඩකුත් ඇරලා මැද කොටසේ තමයි අකුරු ටයිප් වෙන්නෙ.
මේ සෙටින්ස් දන්නවා පිටු සැකසුම් කරන උදවිය.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් ඉදිරිපත් කරලා අනුමත කරපු පිටු සැකැස්මක් තියෙනව සාමාන්‍යයෙන් පොතකට. මෙන්න ඒ සැකැස්ම.
- මුල් පිටුව නැත්නම් අර්ධ ග්‍රන්ථ නාම පිටුව.
මේකෙ තියෙන්නෙ පොතේ නම විතරමයි. - දෙවෙනි පිටුව.
මේකට තමයි දාන්නෙ ‘කර්තෘගේ වෙනත් කෘති’ කියන කොටස. ඒක නැත්නම් ඒ පිටුව හිස්ව තියන්න ඕනෙ. - තුන්වෙනි පිටුව නැත්නම් ග්‍රන්ථ නාම පිටුව.
මේකෙ තමයි පොතේ නම, කර්තෘවරයාගෙ නම හා ප්‍රකාශන ආයතනයේ නම ලොකුවට දාන්නෙ. - හතරවෙනි පිටුව නැත්නම් ISBN පිටුව.
මේ පිටුවෙ තමයි පොතේ නම, මුද්‍රණ වාර ගණන, මුද්‍රණ වර්ෂ, පොතේ අයිතිය (copyright), ISBN අංකය, ප්‍රකාශනගත සූචිකරණ දත්ත (CIP සටහන), අකුරු ඇමිණුම් කරපු කෙනාගෙ නම (අවශ්‍ය නම් පමණක්), සෝදුපත් පරීක්ෂා කරපු කෙනාගෙ නම (අවශ්‍ය නම් පමණක්), කවර නිර්මාණය කරපු කෙනාගෙ නම (අවශ්‍ය නම් පමණක්), ප්‍රකාශන ආයතනය, පොත ගැන කෙටි හැඳින්වීමක් (Synopsis) එහෙම තියෙන්නෙ. - පස්වෙනි පිටුව.
මේ පිටුව තමයි (තියෙනව නම්) පිදුම දාන්න ගන්නෙ. - හයවෙනි පිටුව.
මේ පිටුව හිස්ව තියන්න ඕනෙ. - හත්වෙනි පිටුව.
මේ පිටුවට තමයි (තියෙනවා නම්) පටුන දාන්න ඕනෙ. - අටවෙනි පිටුව.
මේ පිටුව හිස්ව තියෙන්න ඕනෙ. - නව වෙනි පිටුව.
මේ පිටුවේ තමයි සාමාන්‍යයෙන් (තියෙනව නම්) හැඳින්වීම / සංඥාපනය දාන්නෙ. - දහවෙනි පිටුව (නව වෙනි පිටුවක් තියෙනවා නම්).
මේ පිටුව හිස්ව තියන්න ඕනෙ. - එකොළොස්වෙනි පිටුව
මේ පිටුවෙන් තමයි පොත පටන් ගන්නේ.
සාමාන්‍යයෙන් පොතක කතාව හෝ කරුණු පටන් ගන්නෙ 09 වෙනි හෝ 11 වෙනි පිටුවෙන්. ඒ කියන්නෙ හැමවෙලේම පොතේ පිටු දෙකෙන් දකුණු අත පැත්තෙ පිටුවෙන්.
මෙන්න මේ වගේ අදාළ සැකසුම් නැත්නම් සෙටින්ස් හරියටම සකස් කරලා සෝදුපත් පරීක්ෂාවට දෙන එක වටින්නේ ඒ සැකසුම්වල ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් සෝදුපත් පරීක්ෂාවේදී අහුවෙන නිසා.
මේකෙදි, ඒ සකසා ගත්ත අත්පිටපත මුද්‍රණය කරන්නෙ (print out ගන්නෙ) පොතක් විදියට වුණත්, “booklet” විදියට වුණත් ගැටලුවක් නෑ.
06. ISBN අංකය.
පොතක වැදගත්ම එක කොටසක් තමයි ISBN අංකය කියල කියන්නෙ. ජාත්‍යන්තර වර්ග කිරීම් යටතේ පොතකට එන අංකය හා තීරුකේතයක් (බාර්කෝඩ් සටහන) මේකට අඩංගුයි.
(සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනව මොකක්ද මේ ISBN අංකය කියන්නෙ කියල හරියටම. මෙහෙමයි, ජාත්‍යන්තර වශයෙන් පොතක් වර්ගීකරණය කිරීමේ පටිපාටිය අනුව යෙදෙන අංකය තමයි ISBN අංකය කියල කියන්නෙ. (ජාත්‍යන්තර සම්මත පොත් අංකය – International Standard Book Number) මේ අංක ක්‍රමය නිර්මාණය කරල තියෙන්නේ 1966 එක්සත් රාජධානියේ W. H. ස්මිත් මහත්මයා විසින්.
ISBN අංකයේ ඉලක්කම් 13ක් තියෙනවා. ඒකෙදි “පොතකට” ජාත්‍යන්තරව / මුළු ලෝකෙන්ම හිමිවෙන අංක කොටස තමයි 978 කියල කියන්නෙ. ඒ කියන්නෙ ඕනෑම භාණ්ඩයකට හඳුනාගැනීමේ අංකයක් හා බාර්කෝඩ් කේතයක් නිකුත් කිරීමේදී මේ 978 කියන අංකය එන්නේ මුද්‍රිත පොතකටම විතරයි. පෑනකට, පැන්සලකට, ඇඳුමකට හෝ වෙන කිසිම යමකට 978 එන්නෙ නෑ.
ඒ වගේමයි, ඊටපස්සෙ එන්නේ රටට හිමි අංකය. ජාත්‍යන්තර පොත් වර්ගීකරණය හමුවේ එක් එක් රටට වෙන වෙනම අංකයක් තියෙනව. ලංකාවට හිමි ඒ අංකය 955.
ඊටපස්සෙ තියෙන්නෙ ප්‍රකාශන ආයතනයට හිමි අංකය. උදාහරණයක් වශයෙන් බොරැල්ලෙ සී/ස සදීපා ප්‍රකාශන ආයතනයේ අංකය 661. මරදානෙ ගොඩගේ ප්‍රකාශන සමාගමේ අංකය 30. හැබැයි කර්තෘ ප්‍රකාශනයක් නම් මේ අංකය වෙනස් වෙනවා.
කොහොම මොනවා වුණත්, මේ අංකයට තියෙන්නෙ ඉලක්කම් 13ක් විතරයි. යම් යම් සැකසුම්, යම් යම් විශේෂ සකස් කිරීම් මත මේ ඉලක්කම් 13කින් යුක්ත අංකය නිකුත් කිරීමේ පූර්ණ අයිතිය තියෙන්නෙ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට විතරමයි.
උදාහරණය – මරදාන, ගොඩගේ පොත් මැදුරෙන් ප්‍රකාශනය කරපු; මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතාගේ; “සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය” ISBN-978-955-30-6674-9
ප්‍රකාශන සමාගමකින් පොතක් කරනකොට හා කර්තෲ ප්‍රකාශනයක් විදියට පොතක් කරනකොට මේ ISBN අංකය තරමක් වෙනස් වෙනවා. කර්තෲ ප්‍රකාශනයක නම් කර්තෲම තමයි ISBN අංකය ගත යුත්තේ. ප්‍රකාශන සමාගමකින් කරන පොතක් නම් ප්‍රකාශන සමාගමයි ගන්න ඕනෙ.
පොතක් වර්ගීකරණය කිරීමේදී, පොතක් හඳුන්වා දීමේදී මේ අංකය වැදගත් වෙනවා වගේම, පොතකට තියෙන “ජාතික හැඳුනුම්පත” මේ ISBN අංකය තමයි.
පෝරමයක් පුරවලා, අදාළ පොතේ යම් යම් තොරතුරු කීපයක් එක්ක, පොතේ මුල් පිටු කීපය හා මුදලින් රුපියල් 100ක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට ගෙව්වම මේ අංකය නිකුත් කරවාගන්න පුළුවන්.
මේ අංකය නිකුත් කළාම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ඒක වෙනම කොළයක මුද්‍රණය කරලා දෙනවා.)
සෝදුපත් පරීක්ෂාවට අත්පිටපත දෙනකොට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් නිකුත් කරපු ISBN අංකය සඳහන් කඩදාසියේ ෆොටෝ කොපියකුත් සෝදුපත් පරීක්ෂකවරයාට යවන්න පුරුදු වෙන්න. එතකොට පොතේ ISBN අංකයත් හරියටම පරීක්ෂා වෙනවා.
07. ප්‍රකාශනගත සුචිකරණ දත්ත (CIP).
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් ISBN අංකය නිකුත් කළාම එතනින් ෆෝම් එකක් අරගන්න පුළුවන් ප්‍රකාශනගත සූචිකරණයට ඉදිරිපත් කරන්න. ඒක පුරවල දුන්නම තමන්ගේ පොතේ සියලුම දත්ත ජාතික පුස්තකාලයේ ගබඩා වෙනවා.
එතනිනුත් නිකුත් කරනවා ඒ සුචිකරණ දත්ත ඇතුළත් කඩදාසියක්. මේක තමන්ගේ පොතේ ISBN පිටුවේ දානවා නම් වටිනව. නමුත් ඒක දැමිය යුතුමයි කියලා නීතියක් නම් නෑ. කැමති නම් දාන්න පුළුවන්.
ප්‍රකාශනගත සූචිකරණ දත්ත දානවා නම් ඒ කඩදාසියේ ෆොටෝකොපියකුත් සෝදුපත් පරීක්ෂකවරයාට දෙන එක වටිනවා.
08. පිටකවරය හා එහි අඩංගු දෑ.
- සාමාන්‍යයෙන් පොතේ පිටකවරයේ;
- පොතේ නම
- පොතේ නමට අදාළ පූරක කොටසක් (සමහර විට)
- කර්තෘ ධුර/පට්ටම්/තනතුරු/සුදුසුකම්/උපාධි (ජාතික පුස්තකාලය කියන දේ අනුව නම් මේ තනතුරු පට්ටම් මුල් කවරයට දාන එක ඒ තරම් සුදුසු නෑ. ජාත්‍යන්තර සම්මත අනුව පොතේ මුල් කවරයේ තියෙන්නෙ ‘කර්තෘගේ නම’ විතරයි. පට්ටම්, තනතුරු දාන්න පුළුවන් තුන් වෙනි පිටුවේ කර්තෘගෙ නම එක්ක) කර්තෘගේ නම තමයි යෙදෙන්නේ. නමුත් බොහෝ විට කවරයේ පසු පැත්තේ නම් මෙන්න මේවායින් (මුල් තුන) අනිවාර්‍යයෙන්ම යෙදෙනවා. ඉතිරි ඒවා ඇතැම් විට යෙදෙනවා.
- ISBN අංකයට අදාළ බාර්කෝඩ් අංකය
- ISBN අංකය
- මිල
- ප්‍රකාශන සමාගම
- පොතේ උද්වේගකරම/හැඟීම්බරම කොටසක් හෝ පොතේ ඇතුළාන්තය පිළිබඳ කුතුහලයක් ඇතිකරන කොටසක් හෝ පොත පිළිබඳ දළ අදහසක් ගත හැකි, පොතේම ඇති ඡේදයක්
- විශේෂ විද්වතෙකුගේ හෝ සුදුස්සෙකුගේ හැඳින්වීමක් හෝ අගය කිරීමක්
- කර්තෲ පිළිබඳ හැඳින්වීමක්
- කර්තෲගෙ ඡායාරූපයක්
ඔබට තේරෙනවාද? ඔබ පිටකවරයේ ෆොටෝකොපියකුත් සෝදුපත් පරීක්ෂකවරයාට එවීම වටින්නේ මෙන්න මේ ඉහළ කියපු අංගවල වුණත් යම් යම් ටයිපින් මිස්ටේක්ස් හෝ වැරදි තියෙන්න පුළුවන් නිසා.
09. පොතේ කොන්ද/නාරටිය (spine).
සාමාන්‍යයෙන් පොතේ පිටු ගාණ 80 – 100ට වඩා අඩුයි නම් පොත මැදින් ස්ටෙප්ලර් කටු ගහලා පිටු රැඳවීම (center wire) ක්‍රමය තමයි යොදා ගැනෙන්නේ. ඒකෙදි පොතට නාරටියක් එන්නේ නෑ.
නමුත් පොතේ පිටු ගණන 80 – 100ට වැඩි නම් අනිවාර්‍යයෙන්ම පොත සම්පූර්ණ බැඳීම (perfect binding) ක්‍රමයට පිටු බඳින්න ඕනෙ. මෙන්න මේ ක්‍රමයේදී නාරටියක් එනවා පොතට. මේ නාරටියට; පොතේ නම, කර්තෲගෙ නම, ප්‍රකාශන සමාගමේ සන්නාම සලකුණ (Logo) යොදනවා බොහෝම විට.
මෙන්න මේ ස්පයින් එක නිසා තමයි පොතක් රාක්කයක රැඳෙව්වම ඒක අඳුනගන්න උදව් වෙන්නෙ. මේකෙ පවා බොහෝම ටයිපින් මිස්ටේක්ස් වෙන්න පුළුවන්.
මේ විදියට සම්පූර්ණ කරපු අත්පිටපතක් සෝදුපත් පරීක්ෂාවට එවීමේ සම්පූර්ණ වාසිය යන්නේ පොතේ අයිතිකාරයාට හෝ පොත අයිති ප්‍රකාශන සමාගමට. මොකද, සර්ව පොත සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් වෙන නිසා. ඒ වගේමයි, එහෙම සෝදුපත් පරීක්ෂාවට ලක්වුණ අත්පිටපත මුද්‍රණයට යවන්න ඉතාම සුදුසුයි. වැරදි අඩුයි. සෝදුපත් පරීක්ෂකවරයාට පරීක්ෂා කරන්නත් ඉතාම පහසුයි.
සෝදුපත් පරීක්ෂාවට විතරක් නෙවේ, පෞද්ගලිකව තමන් සකස් කරපු අත්පිටපතක් ප්‍රකාශන සමාගමකට ඉදිරිපත් කරද්දි වුණත් මෙහෙම සකස් කරල දෙන එක බොහොම වටිනවා.
ලීවේ,
✍️ චන්දික මධුෂාන් අබේවික්‍රම.